මහින්ද හිතාගෙන ඉන්නෙ එයා තාමත් ජනාධිපති කියලයි

මහින්ද හිතාගෙන ඉන්නෙ එයා තාමත් ජනාධිපති කියලයි
Spread the love

ඉදිරි ජනාධිපතිවරණයක්‌ සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් යම් කිසි මත විමසීමක්‌ කළ යුතු නම් එය කිරීමේ නීතිමය බලතල ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එසේ තිබියදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පවත්නා ව්‍යවස්‌ථාව අනුව නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව ඇති දැයි ඔහුගේ පාර්ශ්වය විසින් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත විමසීමක්‌ කිරීමට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සිතාගෙන සිටීම නිසා විය හැකි යෑයි අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (21) ප්‍රකාශ කළාය.
 
 දෙවරක්‌ ජනාධිපති ධුරය දැරූ අයකුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට තිබූ නීතිමය අවසරය 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබියදීත් හිටපු ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත වීමසීමක්‌ කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය දරන උත්සාහය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරිය එලෙස ප්‍රකාශ කළාය.
 
 විශේෂ මහාධිකරණය විවෘත කිරීමේ අවස්‌ථාට එක්‌වූ අවස්‌ථාවේදී මාධ්‍යවේදියකු අධිකරණ අමාත්‍යවරියගෙන් එම ප්‍රශ්නය ඇසුවේය. 
 
 හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තමයි 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළේ එතුමාට තුන්වන වරටත් ජනාධිපති ධුරයක්‌ දැරීමට අවශ්‍ය ලෙස. නමුත් අපේ රජය එම අවස්‌ථාව 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් වෙනස්‌ කළා. නීතිමය තත්ත්වය එහෙම වුණත් මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය එවැනි මත විමසීමක්‌ කිරීමට උත්සාහ දරන්නේ ඇයි දැයි කියන එක තමයි තේරුම් ගන්න බැරි. සමහර විට එතුමාගේ අනුගාමිකයන් මහින්ද රාජපක්‌ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස තවමත් හිතාගෙන ඉන්නවාද දන්නේ නෑනේ.