මාධ්‍ය සංදර්ශන නැතිව වැඩ කරන, ජනතාවග‌ේ පිනට පහළ වු දුප්පතාගේ නායකයා ජනපති ‌ම‌ෛත්‍රි….

මාධ්‍ය සංදර්ශන නැතිව වැඩ කරන, ජනතාවග‌ේ පිනට පහළ වු දුප්පතාගේ නායකයා ජනපති ‌ම‌ෛත්‍රි….
Spread the love

මා එක්ක අමනාපයක් තියෙනවා නම්, මට වෙඩි තියලා මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මම පුංචි කාලේ ඉඳලා ආරක්ෂා කරගෙන ආව මගේ චරිතය ඝාතනය කරන්න එපා’

එහෙම කීවේ රණසිංහ ප්‍රේමදාස ය. කෙළවරක් නොවන විවේචන, නින්දා, අපහාස, උපහාස සහ ගැරහුම් ඉවසාගෙන, දරාගෙන බැරිම තැන ඔහු එහෙම කීවේය. ‘මගේ චරිතය ඝාතනය කරන්න එපා’ කියන කතාව අදටත් එදා වගේම ජනප්‍රිය ය. නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතරින් පොඩි මිනිහාට වඩාත් ම සමීප වෙමින් පොඩි මිනිහා නියෝජනය කළ ජනතා නායකයකු ලෙස ජනපති ප්‍රේමදාස ප්‍රකට ය. අන්ත දරිද්‍රතාවයේ පතුලෙහි සිටි මිනිසුන් ඉන් ඔසවාලීමට රෑ දවල් තිස්සේ කැපවූ නායකයකු ලෙස ප්‍රේමදාස ප්‍රකටය.

නොවිය යුතු යම් යම් දෑ ඔහුගේ කාලයේ සිදුවිණිද, ඒවාට කිසියම් ඓතිහාසික වටපිටාවක් තිබිණි. නමුත්, පොදුජන හදවත් වලට සමීපව, නැති බැරි අය ඇති හැකි අය කිරීම උදෙසා අවංක උත්සාහයක් ගත් වෙනත් නායකයකු ඉන් පෙර සිටියා නම් එය අතිශය දුර්ලභ තත්ත්වයකි. සමාජ දේහයේ පතුල හොඳ හැටි හැඳින මෙරට ඉහළ පුටුවට ගිය නායකයන් අතර ප්‍රේමදාස ජනපතිට පසු හමු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය. එදා ප්‍රේමදාස ජනපතිට කියන්නට සිදු වූ දේම ඊට සමාන අර්ථයකින් අද සිරිසේන ජනාධිපතිවරයාට කියන්නට සිදුව තිබේ.

“සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමෝගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් නිසාද එහෙම කරන්නේ?”

මේ මෛත්‍රීට කියන්නට සිදුවී තිබෙන කතාවය. ප්‍රේමදාසගේ කතාවේත්, මෛත්‍රීගේ කතාවෙත් ලොකු වෙනසක් නැත. දෙදෙනා තෝරාගත් දේශපාලන කඳවුරු දෙක දෙකකි. දෙදෙනා ගියේ දෙදෙනාට අනන්‍ය සහ දෙදෙනා වෙන්ව විශ්වාස කළ දේශපාලන ගමනක් ය. එහෙත් දෙදෙනාටම සතු වූ පොදු ගති ස්වභාවයන් ‘රැසක්’ම තිබිණි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා රදල වාදයට කුඩු වෙන්න ගැහුවේය. ඒ එක්කම අන්ත අසරණ ජනතාව අබියසට ගොස් ප්‍රශ්න වලට උත්තර හෙව්වේය. ජනපති මෛත්‍රීද රදලවාදය එක්ක හැප්පුණේය. ඔහු පෙරළා දැමුවේ රදලවාදය ඉක්මවා ගිය ‘නූතන මිලිටරි’ පන්නයේ රෙජිමයක් ය. එය නිදහසින් පසු කිසිදු ආණ්ඩුවකට වඩා ප්‍රබල අනුහස් සහිත ආණ්ඩුවක් පෙරළා දැමූ විරලම අවස්ථාව විය. ‘මාත් එක්ක හැප්පෙන්න ජගතෙක් ආසියාවෙවත් නෑ’ කියා පුරසාරම් දෙඩූ රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දමනු තබා ඔහුට එදිරිව ඡන්දෙට එන්න ප්‍රතිවාදියෙක් සොයා ගැනීම පවා බිහිසුණු අභියෝගයක් විය. ඊට වසර 5ට පෙර ඔහුට එදිරිව පෙරට ආ ‘යුද්දය මෙහෙයවූ රණ ශූරයා’ වූ සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම ඇසූ කිසිවෙක්, මහින්දලාගේ ‘බොකාසා පන්නයේ’ ආණ්ඩුවට එරෙහිව පෙරට ආවේ නැත. ‘කවුරු දැම්මත් එදා දිනනවා’ කියා ප්‍රලාප දොඩවන කිසිවකු පැරදුණා නම් එහෙම කියන්නේ නැත. එ හෙම පුරසාරම් දොඩන්නන් ‘කවුද මම එක්ක එන්නේ?’ කියා මහින්ද අභියෝග කරද්දී සිටියේ ‘මොකද කරන්නේ?’ කියමින් දස අතේ කල්පනා කරමිනි.

ප්‍රේමදාස ‘නිවාස වැඩපිළිවෙළ’ කරගෙන ගියේ අනේකවිධ පීඩා මැදය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේය. කවුරුවත් උපකාර කළේ නැත. අන්තිමට ඔහු ‘සෙවණ’ කියා ලොතරැයියක් පවා නිකුත් කළේය. ‘ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?’ සමහරු උපහාසයෙන් ඇසීය. හැබැයි ප්‍රේමදාස වැඩේ කළේය. ඔහුගේ කකුලෙන් ඇද්ද, ඔහුට සිනාසුණ සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ. මෛත්‍රීටත් වුණේ ඒකමය.

‘අපි වවමු රට නඟමු’ කියන නිර්මාණශීලී වැඩේ මෛත්‍රීගේ ය. එය ගමින් ගම ව්‍යාප්තව ප්‍රචලිත වන විට ඒ ආණ්ඩුවේ ‘බලධාරී පවුල’ට ඊරිසියා හිතිණි. පවුල් කල්ලිය පිස්සු නටන විට මෛත්‍රීගේ වැඩේ සාර්ථකත්වය ඔවුන්ගේ වලට කටු අනින්නක් විය. අන්තිමට ‘අපි වවමු රට නඟමු’ මෛත්‍රීගෙන් ගලවා ‘ආර්ථික කටයුතු’ අමාත්‍යාංශයට ගත්තා පමණක් නොව කෘෂිකර්මයද ගලවා ගත්තේය. ‘අපි වවමු රට නඟමු’ ඉන් පසු ‘පුස් ඇට’ බෙදිල්ලක් බවට පත් කොට වනසා දැම්මේය.

මෛත්‍රී ස්වකීය දේශපාලන ජීවිතය තුළ දුටුවේ ‘ජනතා වන්දනාවකි’. මහින්ද දුටුවේ ‘ස්වයං පුද්ගල වන්දනාවකි. අසූ රියන් බුදු පිළිම නෙළන රටේ එකසිය හැට රියන් ‘කටවුට්’ මහින්ද වෙනුවෙන් අහස අල්ලන්නට සැරසෙමින් තිබිණි. විමල් වීරවංශ වැන්නන් මහින්ද නැමැති බැලුමට, සුළං පිබිමින් උන්හ. ‘ආයු රක්ඛන්තු ආවඩා’ කියා මහරජෙක් ‘ අන්දවා තිබිණි. රට පුරා ඉදි වන වැසිකිළි පවා මහරජුගේ නමින් ඉදිවිය. ‘මහින්ද’ නම කොතැන හෝ පැටැලෙන ලෙස ඒවා නම් කළ යුතු විය. අන්තිමට දරුවන්ට ඉදි කළ තාක්ෂණික ගොඩනැගිල්ල පවා ‘මහින්දෝදය’ විය. සියලු අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශය ‘බැබළෙන’ තැනට ගෙනාවොත්, එය එකී අමාත්‍යාංශය ඔහුට ‘අහිමි වීමට’ හේතුවක් විය. ජනවාරි අට ඒ බැලුම පුපුරා ගියේ ‘අනුහාස­ාත්මක’ නායකත්වය දෙදරා යමින් ය.

මෛත්‍රී එකී ‘රෙජිම් කතුරට’ හසු වූ අමාත්‍යවරයෙක් විය. කෙසේ වෙතත් සොබාදහම ඓතිහාසික කාර්යභාරයක් ලබා දෙයි. එය මීට දෙවසරකට පෙර මෛත්‍රීට හිමි විය. ස්වකීය දේශපාලන ජීවිතයේ දුටු ‘මානවවාදී සිහින’ ඉටු කරන්නට සොබා දහම ඔහුට ඉඩ විවර කොට දී තිබේ. ඔහු මුලින්ම කළේ තමා පත් කළ ජනතා අපේක්ෂා වෙනුවෙන් මැදිහත් වීමය. මොන තරම් විවේචන, ගැරහුම් අපවාද තිබුණද ඔහු ‘පක්ෂ දෙක එකට ‘යන ගමනට වැට බැඳ නැත.

මෛත්‍රිෙග් දේශපාලන දිවියේ ලොකුම සිහිනයක් වූයේ ‘මොරගහකන්ද’ ව්‍යාපෘතිය ය. නිදහසින් පසු මෙරට සිදු කළ ‘ප්‍රකටම ‘වාරි සහ සංවර්ධන ව්‍යාපෘතිය ‘මහවැලි සංවර්ධන’ව්‍යාපෘතිය ය. එය තාමත් කීරිතිමත් ඉතිහාසයක් ලෙස බැබළෙමින් තිබේ. මොරගහකන්ද එහි කූටප්‍රාප්තිය ය. එහෙත් එය රටේ ‘මුල් පුවතක්’ බවටවත් පත් වූයේ නැත. අද නීල දිය කඳක්ව ශෝබමානව දිදුලන්නේ දශක හතරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ සැලසුම්වලට පමණක් සීමවී තිබූ සිහිනයක් ය. විවිධ ආණ්‌ඩු යටතේ කතාවට ලඝූ වී ඉහළ-පහළ ගිය “මොරගහකන්ද” ජලාශය දෙවැනි වන්නේ ගාමිණී දිසානායක පණ දුන් ‘මහවැලියට’ පමණි. වස්සානයේ මහා වර්ෂාවෙන් ඉතිරි කෑ ගසාගෙන මුහුදට ගලා යන අඹන් ගඟේ ජලකඳ ලක‍්ෂ සංඛ්‍යාත ජනයාට ‘හුස්ම ගෙනෙන’ පින්කමක් බවට පත් කිරීමට මෛත්‍රීට අවශ්‍ය විය.

නියං සායේ වියරු සර්පයා කුරිරු ලෙස දෂ්ට කළේ රජරටට ය. එකී විසෙන් නිරන්තර හෙම්බත්වන්නෝ, රජරට ගොවියෝය. ජාතියට බත සපයන ගොවියෝ නියන් සර්පයාගෙන් බැට කන විට ඉන් ජාතියම රෝගී වීම අරුමයක්ද…? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දකින්නේ ඒ රෝගී ජාතිය නිරෝගී කිරීමේ ප්‍රතිකර්මය ය.

තම දේශපාලන ජීවිතය තුළ මෛත්‍රී නොසන්සිඳන සිහිනයක් දුටුවා නම් ඒ මොරගහකන්ද බහුකාර්යය යෝජනා ක්‍රමය ය. උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ලක‍ෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙන්ම රටේ ජලවිදුලිබල නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම මෛත්‍රී තුරුණු වියේ සිට ම හදවතින් දුටු සිහිනයකි. 2007 ජනවාරි මස 25 වෙනි දින මෛත්‍රී ඒ සිහිනයට මුල්ගල තැබුවේ ය.

අනුරාධපුර, පොලොන්නරුව දිසා මුල්කරගෙන රජරට ජල හිඟය දුරැලීම සඳහා ඇති සාර්ථකම විසඳුම මොරගහකන්ද ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීම බව ඔහු කාලාන්තරයක සිට විශ්වාස කළේ ය. වගා පාළුවෙන් ජල හිඟයෙන් අප්‍රමාණ දුක් විඳින රජරට ගොවි ජනතාවට අප්‍රමාණ අස්වැසිල්ලක් උදෙසා මේ ව්‍යාපෘතිය සිදු කළ යුතුම බවට ඔහු දැඩිව අදිටන් කරගත්තේ ය. කුප්පි ලාම්පු එළියෙන් ජීවිතය ගෙවන දුගී දුප්පත් ජනතාවගේ ගෙපැලට ආලෝකයක් රැගෙන ආ යුතු යැයි ඔහු විශ්වාස කළේ ය.

මහවැලි ව්‍යාපාරයේ සංවර්ධන සැලැස්මේ සුවිශේෂි ස්ථානයක් හිමි අඹන් ගඟ හරස්කොට ජලාශ දෙකක් ඉදි කිරීමට නියම වූ අතර, එහි පළමුවැන්න බෝවතැන්න ජලාශයයි. දෙවැන්න මොරගහකන්ද ජලාශයයි. මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු සඳහා සමගි පෙරමුණු රජයේ වාර්මාර්ග විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය ධූරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහතා විසින් සැලසුම් කළේ ය. එහෙත් 1977 සමගි පෙරමුණ ආණ්ඩුව පරාජය වීම නිසාවෙන් එම සැලසුම් සේදී ගියේ ය. කෙසේ නමුත් මෛත්‍රී ‘මොරගහකන්ද සිහිනය’ අත්හැරියේ නැත. අඹන් ගඟ ඔස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මුහුදට ගලා ගිය මහා ජලකඳ උතුරු මැද, නැගෙනහිර ගොවි ජනතාවගේ වියළි බිම් සරු කරන්නට යොදා ගතහැකි බවත්, පිපාසාව සංසිඳුවාලන්නට යොදා ගත හැකි බවත් මෛත්‍රී තරයේ විශ්වාස කළේ ය.

ගමේ නායකයා, රට ගැන හිතන නායකයා, යනාදී ලෙස වයිවාරණ සැරසිලිවලින් පුද ලබන රාජපක්ෂලා මේ මහා පින්කමට ‘එරෙහි වූ’ හැටි එදා මෛත්‍රී වේදනාවෙන් කීවේය. ‘2007 ජනවාරි 25 වෙනිදා මේ ව්‍යාපාරයට මුල් ගල් තියලා උත්සවයක් තියලා මහා බලාපොරොත්තු ඇතිව පටන් ගත්ත මේ යෝධ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ කදුළු පිසදමන්න, ඒ අවට අනෙක් ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කරන්න, ජාතික ආර්ථීකය පුළුල් කරන්න. මේ රටේ ශක්තිමත් යෝධ ව්‍යාපෘතියක් විදිහට පටන් ගත්තේ ජනවාරි 25 වෙනිදා, එතකොට මම මහවැලිය භාර ඇමැති. ඊට දවස් දෙකකට පස්සේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ආවා. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයට කලින් දවසේ මට කිව්වා මහවැලි විෂය ඔබෙන් අයින් කරනවා කියලා.

මම කිව්වා දැන් දවස් දෙකකට කලින් මේ යෝධ ව්‍යාපෘතියේ වැඩ පටන් අරගෙන, මහවැලිය මගෙන් අයින් කරනවා නම් පටන් ගත්ත වැඩට මොකද වෙන්නේ කියලා. මේක රජරට ජනතාවගේ බලාපොරොත්තුව, මේ ව්‍යාපෘතිය මා කෙසේ හෝ කළ යුතුයි කියලා. මගේ දැඩි ඉල්ලීම මත මගෙන් ඉවත් කළ අමාත්‍යංශය පැය 48කට පස්සේ නැවත ලැබුණා. ළඟ හිටපු බැසිල් රාජපක‍ෂට කිව්වා ඔන්න ඒක දීලා දානවා කියලා. ජනවාරි 28 වැනිදා නැවත ගැසට් කළා. මට මහවැලිය, නමුත් අවුරුදු 05 ක් යනකන් සල්ලි දුන්නේ නැහැ මේ ව්‍යාපෘතිය කරන්න.

මම 2007 මෙතැන වැඩ පටන් අරගෙන මට අමාත්‍යංශය ආපහු ගැසට් කළාට පස්සේ මම ජපන් ජයිකා සමාගමත් එක්ක කතා කළා. ජයිකා ආයතනය කැමති වුණා සල්ලි දෙන්න. එය ප්‍රතික්ෂේප කළා ඉහළින්. ඊට පස්සේ චීන රජය සමඟ මම කතා කළා. ඒ ආයතනවලින් එකඟතාව පළ කළා. නමුත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් මේ යෝජනා පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළා. අවුරුදු 05 ක් මේ ව්‍යාපෘතිය කෙරුණේ නැහැ. 2007 ජනවාරි 25 වැඩ පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙන්න තිබුණේ 2012 වසරේ.’

මොරගහකන්ද ස්‌ථිරව හදනවාද, නැද්ද යන “වැටඋඩ” තීන්දුවට තිත තබමින් “හදනවා” යන තීන්දුව ගත් මෛත්‍රී මෙරට ඉතිහාසයේ ‘සද්දන්තම’ සංවර්ධන ව්‍යාපෘතිය ‘ලොකු හාහූවක්’ නැතිවම හමාර කළේය. බස් නැවතුම්පළක් හදන්නට මුල් ගල තියද්දීත් සද්දෙට ‘ඇඩ්වර්ටයිසින්’ කළ ඉතිහාසයක් ඇති රටක යහපාලන ආණ්ඩුව රටින් අඩක් සශ්‍රීක කළ දියවර උදානය සිදු කළේ ‘සද්ද’ නැතිවමය. මෛත්‍රී ‘වැඩ’ කරන හැටි වටහා ගන්නට එයම ප්‍රමාණවත් ය.’සද්ද නැතිව වැඩ’ කිරීමේ කලාව ඔහු මොනවට පසක් කළේය. මෛත්‍රී ‘ගමින් ගමට’යන කටයුත්ත ආරම්භ කළේත් සද්ද නැතිවය. එය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ‘ජනපති ජංගම සේවය’ඉක්මවා ගිය මට්ටමේ ‘ජනතා සමීප’ කටයුත්තක් විය.

ඉකුත් වකවානුවේ ස්වකීය අවසන් සමයේ ‘රාජපක්ෂලා’ ගෙන ගිය මට්ටමේ ‘පුරාජේරු සහගත ආඩම්බර බවක්’ එහි නොවීය. ග්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහන ඔහුගේ අලුත්ම ව්‍යාපෘතිය ය. හුදෙක් එය මානවීය කටයුත්තක්ය. අරුමෝසම් වලින් සහ ව්‍යාජ කෘතිම බවකින් මිදුණු ළෙන්ගතු වැඩක් ය. වැවේ, පාරේ, ගමේ, පාසලේ සිට තමන්ගේ ජීවනෝපායන්ට අදාළව මෙතෙක් විසදුම් ලබාගැනීමට නොහැකි වූ බොහෝ ප්‍රශ්න කෙරෙහි රටේ නායකයා ලෙස ඉදිරිපත් වීම අපූරුය. එවක පාලකයා සේනාව පිරිවරා එනවිට ,ඊට පෙර ‘සූදානම් කරන ලද සිඟිත්තන් ‘ඔහුට වඩා ගන්නට දීම ‘සිරිතක්’ විය. දින ගණං සොයා බලා, පස් මහ බැලුම්ද බලා තෝරා ගන්නා දරුවා දෝතට ගත් විට හෙතෙම ‘අප්පච්චී’ බවට අබිසෙස් නැංවීය. ව්‍යාජත්වය මොන තරම් ‘ක්‍රියේටිව්’ විදිහට එකල ‘මාර්කට්’ කළේද?

එහෙත් මෛත්‍රීගේ ගමන එකී ව්‍යාජත්වයෙන් තොරය. වටින්නේ අන්න ඒකය. ඔහු ඔහුට ලැබුණු කටයුත්ත මනාව මතු කළේය; ඉටු කරමින් සිටින්නේය. සෙස්සෝ සිහින දකින්නේ 2020 මොකද කරන්නේ කියාය; ඔහු සිහින දකින්නේ ‘මේ මොහොතේ’ රටට ඉටු කළ යුත්තේ කුමක්ද කියාය. වෙනස ඒකය. ඔහු බොහෝ දෙනෙක් බෑ කී දේ සැහැල්ලුවෙන් සේම පහසුවෙන් කළේය. බලවත් රෙජිමය ගෙදර හැරියේය; විධායක බලය අත් හැරියේය; මොරගහතැන්න නිම කළේය; දුම් වැටියට වැට බැන්දේය. පක්ෂ දෙක එකට එක් කරගෙන ගමන ගියේය. අද ගමින් ගමට ගොස් ජනතා ගැටලු විසඳන්නේය. එහෙත් ඔහුට ගහන මඩ වල ඉවරයක් නැත. තමන්ට එරෙහිව පහර දෙන ප්‍රතිගාමීන්ගෙන් මෙහෙම අසන්නට මෛත්‍රිට සිදුවී තිබෙන්නේ ඒකය. ‘මම ඒ හැම කෙනෙකුගෙන්ම අහනවා, ඇයි මට ගහන්නේ මම පුංචි මිනිහෙක් නිසාද, මේ රටේ ජනාධිපති ධූරයට පත් වූ හය දෙනාගෙන් මම තමයි මේ රටේ පැල්පතින් ආපු, කුඹුරෙන් ආපු ජනාධිපතිවරයා කියන එක මම පැහැදිලිව කියනවා.

මට ගහන්නේ මම ප්‍රභූ පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මම ධනපති පන්තියේ නොවන නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දුප්පත් ගොවියෙක් නිසාද, මට ගහන්නේ මගේ තාත්තා දෙවන ලෝක යුද්ධයේ සටන් කළ රණවිරුවකු නිසාද, මට ගහන්නේ මගේ තාත්තාගේ අක්කර පහෙන් යැපිලා පාර්ලිමේන්තුවට ආපු එතැන් සිට ජනතාවගේ සියලු වගකීම් සමඟ ඉදිරියට ආ පුංචි මිනිසෙක් නිසාද’ඔහු විමසන ඒ පැනය සැබවින්ම අතිශයින්ම සාධාරණය.