මේ රටේ මැතිවරණ කල්දැමූ කිසිම ආණ්‌ඩුවකට වාසියක් වී නැහැ. මැතිවරණ කල්දැමූ හැම ආණ්‌ඩුවකටම මේ රටේ ජනතාව මතක හිටින පාඩමක් උගන්වා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයේදී ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේද කීය.
උතුරු පළාත් සභා මැතිවරණය කල්දැමුවාට තමන්ගේ කිසිම විරෝධයක් නැහැ. නමුත් මැතිවරණය කල්දමා එය පවත්වන තුරු ඔහුට දිගටම මහ ඇමැති ධුරයේ සිටිය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරනවා. ජනතාවට ස්‌වර්ජන ඡන්දය පාවිච්චි කිරීමට අවසර නැහැ. පළාත් සභාවේ නිල කාලය අවසන් වූ පසුවත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාට එම ධුරයේ වැඩ කරන්න අවශ්‍යයි කීම සදාචාර විරෝධී පමණක් නොව නීති විරෝධී වැඩපිළිවෙළක්. පළාත් සභාවේ නිල කාලය අවසන්වූ පසු මහ ඇමැති ධුරයේ සිටීමට කිසිදු අයිතියක් නැහැ.
පළාත් සභා නවයෙන් තුනක නිල කාලය අවසන්වී තිබෙනවා. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේ නිල කාලය අවසන්ව මැතිවරණය නොපවත්වා දැනට මාස 10 ක් පමණ ගත වෙලා. ඒ වගේම මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනෙත් නිල කාලය අවසන් වෙනවා.
දැන් රජයට අවශ්‍ය වී තියෙන්නේ පළාත් සභා මැතිවරණය දිගින් දිගට කල් දැමීමටයි. එන වසරේ ජනාධිපතිවරණය පවත්වන කාලය වනවිට නිල කාලය අවසන් වූ පළාත් සභා හයට මැතිවරණය නොපවත්වා අවුරුදු දෙකක් වෙනවා.
මේ අනුව අවුරුදු දෙකකට මේ රටේ පළාත් සභා හයක් නැතිව රට පාලනය කිරීමට පුළුවන් නම් පළාත් සභා රටට අවශ්‍ය ඇයි?
සිsරිසේන වික්‍රමසිංහ රජය මෙලෙස පළාත් සභා මැතිවරණ අහෝසි වන්නට ඉඩ දෙන්නේ නම් ඉන්පසු එන අලුත් ආණ්‌ඩුවකට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති වන ප්‍රායෝගික අවශ්‍යතාවය කුමක්‌ද කියා ජනතාව අහයි. මනෝ ගනේෂන් ඇමැතිවරයා ප්‍රකාශ කළා සම්බන්ධන් මහතා රජයේ ඇමැති ධුරයක් ගත්තා නම් හොඳයි කියලා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්. ඇත්ත, සම්බන්ධන් විපක්‌ෂ නායකවරයා කටයුතු කරන්නේ විපක්‌ෂ නායකවරයකු ලෙස නොව රජයේ ඇමැතිවරයකුගේ කාර්යභාරයක්.
සම්බන්ධන් මහතා හා දෙමළ සන්ධානය ඒ ජනතාවට දුන් ප්‍රතිඥාව මොකද්ද? අද මොකද්ද වී තියෙන්නේ. ඔවුන් කිසිම හඬක නඟන්නේ නෑ. පළාත් සභා මැතිවරණය තියන්න කියලා. නැගෙනහිර පළාත් සභාවට අත්වූ ඉරණමට තව මාස දෙකකින් උතුරු පළාත් සභාවටත් මුහුණ දීමට සිදුවෙනවා.
සම්බන්ධන්ගේ හා දමිළ සන්ධානයේ භූමිකාව වී තියෙන්නේ මේ රජය කෙසේ හෝ පවත්වා ගෙන යැමටයි. ඒ නිසා කළ හැකි හැම දේම කරනවා. ඔවුන්ගේ අභිලාෂය වී ඇත්තේ තවදුරටත් මේ රජය පවත්වාගෙන යැමයි. මෙය හරි අභූත තත්ත්වයක්. නිසි කාලයේ මැතිවරණ පවත්වන්නේ නෑ. පළාත් පාලන මැතිවරණය අවුරුදු 2 1/2 ක් කල්දැමුවා. දැන් පළාත් සභාත් එහෙමයි. මැතිවරණ ක්‍රමයේ දොaෂ තිබෙනවා කියලා දිගින් දිගට මැතිවරණ කල් දමනවා. මේ විදියට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන මුවාවෙන් මැතිවරණය කල්දැමීම ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුව නැහැ.
පළාත් සභා මැතිවරණය එක දිනක්‌වත් කල්දැමිය නොහැකි බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් පසුව ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම වැළැක්‌වීම සඳහා අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කළා.
මේ රටේ මැතිවරණ කල්දැමීමෙන් කිසිම ආණ්‌ඩුවකට වාසියක් වෙලා නැහැ. මැතිවරණ කල්දැමූ හැම රජයකටම රටේ ජනතාව හොඳ පාඩමක් උගන්වා තිබෙනවා. 70 මැතිවරණයේදී මැතිනියට 2/3 ක බහුතරයක් ලැබුණා. රජයේ නිල කාලය වුණේ 1970 සිට 1975 දක්‌වා අවුරුදු පහක කාලයයි. නමුත් 75 මැතිවරණය නොපවත්වා වැඩිපුර අවුරුදු දෙකක් පාලනය කර මැතිවරණය පැවැත්වූ පසු බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ප්‍රමුඛ ආණ්‌ඩුව ආසන අටට බැස්‌සා. එසේ සිදුවුණේ මැතිවරණය අවුරුදු දෙකක් කල්දැමීමේ ප්‍රතිඵලය නිසයි.
මැතිවරණය කල්දැමීමට එරෙහිව දීප ව්‍යාප්ත මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. පළාත් සභා මැතිවරණය නියම වෙලාවට පැවැත්විය යුතුයි.
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය ඉවත් වුණේ මානව හිමිකම් කවුන්සිලය දැඩි ලෙස විවේචනය කරමිනුයි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඇමරිකාව එවා සිටි තානාපති විකී හේලි මහත්මිය කියා සිටියා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක් ගඳ ගසනවා කියලා. මෙය සම්පූර්ණයෙන් පක්‌ෂපාතියි. මෙමගින් කිසිවක් සිදුවන්නේ නෑ, එය පරාර්ථකාමී ආයතනයක් කියලා.
මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මහින්ද රාජපක්‌ෂ රජය දිගටම කියා සිටියේ මෙයයි. එදා අප කියපු දේමයි අද ඇමරිකා එක්‌සත් ජනපදය කියන්නේ. අපි එදා ගෙන ගිය ප්‍රතිපත්තිය උඩු යටිකුරු නොකර කරගෙන ගියා නම් අද අපේ රටේ අභිමානයට, රණවිරුවන්ට කිසිදු අභියෝගයක් එල්ල වන්නේ නෑ.
එදා සිටම අපි කියා සිටියේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කිසිම වරදක් කරලා නෑ. ඔවුන් නිර්දොaෂියි. ඒ පිළිබඳ ඔප්පු කරන්න පුළුවන් සාක්‌ෂි ඇති බවයි මහින්ද රාජපක්‌ෂ රජය කියා සිටියේ. එදා අපි සුරක්‌ෂිත කළ අපේ ත්‍රිවිධ හමුදාව මේ රජය විසින් ඇමරිකා එක්‌සත් ජනපදය ගෙනා යෝජනාව ශ්‍රී ලංකාවේම යෝජනාවක් ලෙස පිළිගෙන සෙසු රටවලින් එම යෝජනාවට සහයෝගය ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,
මේ රජය සම්පූර්ණ අසාර්ථක රජයක් බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලබා තියෙනවා. අද වනවිට මේ යහපාලන ආණ්‌ඩුවේ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 41 ක්, රාජ්‍ය ඇමැතිවරු 22 ක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 23 ක් සිටිනවා. තව සතියක් දෙකක් යන විට මේ ප්‍රමාණය තවත් වැඩිවිය හැකියි. මේ වනවිට 86 දෙනෙක් ඇමැති ධුර දරනවා. ආණ්‌ඩුවේ සිටින අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම වරදාන ලැබෙනවා.
මෙතරම් ඇමැතිවරු රාශියක් ඉන්නේ ආණ්‌ඩුව රුවිතෙට යන නිසයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ 113 හදා ගැනීමට මන්ත්‍රීවරු 27 ටත් තවත් ඇමැති ධුර හදලා දෙයි. මේවාට වියදම් කරන්නේ මේ රටේ ජනතාවගෙන් අයකරන බදු මුදල් මේ සඳහා අති විශාල මුදලක් වැය කෙරෙනවා.
අස්‌ගිරි අනුනායක හිමියන් වහන්සේ කළ ප්‍රකාශයක් ගැන අද කතා කරනවා. උන්වහන්සේ මේ රටේ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලා යමක් ප්‍රකාශ කරන්නේ දුරදිග බලලා රටේ අනාගතය ගැන හා වර්තමාන තත්ත්වය දෙස බලා. රට වර්තමානයේ පත්ව තිබෙන ඉරණම දෙස බලන විට මේ රට පාලනය කළ රජවරුන්ටත් අවවාද අනුශාසනා කළේ අති ගෞරවනීය මහා සංඝරත්නයයි. රටේ නායකයා ශුභවාදී නොවේ නම් මහා සංඝරත්නය දැඩි ලෙස අවවාද අනුශාසනා කළා. ඒ වගේ අද මේ රටේ සිදුවන සිදුවීම් දැකලා අනුශාසනාවක් කළා. දැන් මේ බය වෙලා තියෙන්නේ මොකටද? ගෝඨාභය භීතිකාවක්.
අගමැතිවරයා බොහොම ආඩම්බරයෙන් උජාරුවට කියනවා මත්තල ගුවන් තොටුපළත් ඉන්දියාවට විකුණනවා කියලා. මේවා කියන්නේ බේබදු තාත්තා කෙනෙක් ගෙදර බඩු විකුණලා සතුටු වෙනවා වගේ. රටේ අගමැතිවරයෙක් දෙන පණිවිඩය මොකද්ද රටේ සම්පත් විකුණගෙන කාපල්ලා කියලයි. තවත් කීයක් විකුණයිද? දන්නේ නෑ.
මැතිවරණ කල් දැමූ හැම ආණ්‌ඩුවකටම ජනතාව මතක හිටින පාඩම් ඉගැන්නුවා
