ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ රාජකාරී පැහැර හරින සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම නිසා මැතිවරණ රාජකාරී සඳහා පත් කර ඇති සියලුම නිලධාරීන් හා සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවත්, රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත රජයේ ආයතන, සංස්ථා, මණ්ඩල සතු වාහන සියල්ල ඒ ඒ දිස්ත්‍රික්වලට යැවීමට අදාළ නිලධාරීන්ගේ වගකීමක් වන බවත්, එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් එම කොමිසම අවධාරණය කරයි.
ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ට ජනතාවගේ මූලික අයිතියක් වන ඡන්ද බලය ක්‍රියාත්මක කෙරෙන ඡන්ද විමසීමකදී සහය ලබාදීමට සදාචාර බැලීමක් හා වගකීමක් පවතින අතර, ඡන්ද විමසීම නිසිලෙස පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිවිධාන අනුව ක්‍රියාකිරීමට බැඳී සිටින බවද කොමිසම පෙන්වා දෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි එම විධිවිධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඬුවමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් වන බව එම කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙයි.