ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින් රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි.
සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා විනසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පසුගිය වසරේ අගෝස්තු 04 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා යන ප්‍රවීන ගායන ශීල්පීන් සහභාගී කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබාගෙන ප්‍රසංගය පැහැර හැරිය බවට ප්‍රසංගයේ සංවිධායකවරයෙකු වන ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබුණා.
එසේම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් විසින් රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් සංවිධායකවරයාට ලබා දී තිබුණද එය අගරු වූ චෙක්පතක් බවයි සඳහන් වන්නේ.
ෙඒ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොණු කල බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරන්නේ.