දැනට වසර 18 කට පෙර හිටපු අමාත්‍ය සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ මරණයට හේතුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගෙන තිබේ.
ඒ තොරතුරු දැනැගැනීමේ පනත යටතේ බව එම පක්ෂය කියා සිටී.
අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් නීතිවේදීන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ.ජි. වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මගින් 2000 වසරේ සැප්තැම්බර් 16 වනදා බිබිලේ – ඌරකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලූ අතර එ් සම්බන්ධයෙන් වූ වාර්තාව මෙලෙස ලබා ගෙන ඇත.
එම වාර්තාවට අනුව හිටපු අමාත්‍ය එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ මරණයට හේතු වූ අනතුර කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් සැළසුම් කරන ලද්දක් නොවන බව සඳහන් වේ.
එමෙන්ම එම අනතුර යානයේ සිදුවූ පිපිරීමක් නිසා සිදුවූ බවට සාක්ෂියක් නොමැති බවද රජයේ රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් කොමිසම අනාවරණ කර තිබේ.
එමෙන්ම කොමිසම මගින් අනාවරණ කරගෙන ඇති තවත් කරුණක් වන්නේ හිටපු අමාත්‍යවරයාගේ නැගෙනහිර සංචාරය සඳහා ලබාදුන් හෙලිකොප්ටර් යානය අලූත්වැඩියා කරමින් පැවති එකක් බව ය.
මේ නිසා නඩත්තු කටයුතුවල නොසැළකිල්ලක් අනතුරට හේතුවී ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ලබාගත් කොමිෂන් වාර්තාවේ සඳහන් බව මුස්ලිම් කොංග්‍රසය කියා සිටී.