යාපනයේ යළිත් කඩු කල්ලියක්

Spread the love

යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් 7 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

යාපනය – මනිපායි – සංගුවේලි උතුර ප්‍රදේශයේ, කෝපායි – මුකමඩම් සහ කොණ්ඩාවිල් බස් නැවතුම ඉදිරිපිට ඊයේ රාත්‍රියේ මෙම පහරදීම් සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යාපනය මනිපායි – සංගුවේලි උතුර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස පහරදී ඇත්තේ යතුරුපැදි 5කින් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු විසින්.

ඔවුන් නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රීරෝද රථයකට සහ යතුරු පැදි දෙකට ද අලාභ හානි සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව මොවුන් යාපනය මාණිපායි අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටද තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

තුවාල ලැබූවන් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ආවා කල්ලියට සම්බන්ධ පිරිසක් විසින් මෙම පහරදීම් සිදුකරන බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක බව යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.