නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක් පවත්වා තීන්දුවක් ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4 ) දැනුම් දුන්නේය.
රංජන් රාමනායක මහතා කළැයි කියන කතාව පටිගත කළ වීඩියෝ හඬ පටය ආශ්රයෙන් සකස් කළ එම කතාවේ පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකරුවන් වෙන වෙනම පරීක්ෂා කර බලා පසුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙක ඊවා වනසුන්දර සහ දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහු මේ බව දැනුම් දුන්නේ ය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටියේ සියලුම විනිසුරුවරුන් හා නීතිඥවරුන් දූෂිතයන් යෑයි ඔහු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව නිසා ඔහු කළ එම වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඔහු උසාවියට කැඳවා විමසන ලෙසත් පසුව ඒ ගැන විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
රංජන් රාමනායක මහතාට එරෙහිව පෙත්සම් දෙක ගැන අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත යොමු කිරීමටද ඊයේ තීරණය කෙරිණු අතර රාමනායක මහතා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත යන්න නීතිපතිවරයාගේ ස්ථාවරය බව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ මුල් දිනයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයද රාමනායක මහතා කළ කතාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයේදී තම සංගමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
වැඩිදුර විභාගය ලබන 18 දාට කල් තැබුණු අතර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටී.මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී රණවක සුනිල් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.
රංජන්ට එරෙහි පෙත්සම් 2 සම්පූර්ණ විභාගයට ගනී
