රටපුරා වෛද්‍ය සායන 12,000ක්

රටපුරා වෛද්‍ය සායන 12,000ක්
Spread the love
වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි මසකට වෛද්‍ය සායන 1000ක් බැගින් වසරකට වෛද්‍ය සායන 12,000ක් රටපුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ දයාවේ මෙහෙවර නමින් නම් කොට ඇත.
මෙම වෛද්‍ය සායනවලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමයට සියලු ම රෝග පරීක්ෂාව, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම, ඇස් පරික්ෂාව, ඇස් කණ්නාඩි ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම ආදී වැඩසටහන් ගණනාවක් ම ඇතුළත් වේ. 
මෙම ජංගම වෛද්‍ය සායන ක්‍රියාත්මක වීම හරහා දිස්ත්‍රික් රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය බොහෝ ලෙස අඩුකරගැනීම ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තවත් එක් පරමාර්ථයකි.
පසුගිය දා සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැසක්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.