රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!

රටම කතාවෙන මහා අපරාධය… කිරිවෙහෙර නායක හිමි ඝාතන සැලසුම ලහි ලහියේ ගහපු හැටි මෙන්න ..!
Spread the love

කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණ මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොබවක ධම්මින්ද හිමියන් ඝාතන තැතේ අබිරහස මේ වන විට ‍පොලිසිය විසඳා හමාරය. ඒ උන්වහන්සේ ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි තැබූ බෝර 12 වර්ගයේ ගිනි අවියද සමගිනි. එකී ඝාතන සැලසුමට ගෑවුණු කිහිප දෙනෙක්ම දැන් සිටින්නේද ‍පොලිස් අත්අඩංගුවේය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විට එකී ඝාතන ප්‍රයත්තයේ මහ මොළකරු සිටියේ ‍පොලිසියට කට්ටි පනිමින් සැඟවෙමිනි. මෙම ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔහුවත් ‍පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින්නට පුළුවන.

ඔහු වෙන කිසිවෙක් නොව කිරිවෙහෙර භූමියේ පිහිටා ඇති මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාරය. කොබවක ධම්මින්ද හිමියන් ඝාතනයට ඔහු සැලසුම් කරන්නේත් වෙඩික්කරුවෙක්් ඊට යොදවන්නේ ඔහු මහසෙන් දේවාලයේ හිටපු කපුවා වූ නිසා පමණක් නොව පසුගිය දිනෙක එම ස්වාමින් වහන්සේ එක්තරා රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයෙක්ට එල්ලකළ ප්‍රහාරයක් නිසා බව මේ වනවිට සත්‍යය එලිවෙමින් පවතී… 

කෙසේවෙතත් කපුවා සම්බන්ධ කතාව වසර දෙක තුනක් දක්වා දිව යන්නෙකි. ධම්මින්ද හිමියන්ට පෙර විහාරාධිපති ධුරය දැරුවේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරු විහාරාධිපති ධුරයට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් අතර තරඟයක් ඇතිවන්නේ නිතැතිනි. එය අර්බුදයක් බවට පත්වන විට මල්වතු මහා විහාරය මැදිහත්වෙමින් එය විසඳන්නේ අලුත්වැව සෝරත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ කොබවක ධම්මින්ද හිමියන්ව 2013 වසරේ දෙසැම්බර් 19 වෙනිදා විහාරාධිපති ධුරයට පත්කරමිනි.

තරුණ භික්ෂුවක් වූ කොබවක ධම්මින්න හිමියන් විහාරාධිපති ධුරයට පත්වීමත් කිරිවෙහෙරේ පරිපාලනය සම්බන්ධයෙන් රැඩිකල් වෙනසක් සිදුකරන්නට වූහ. කිරිවෙහෙර භුමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ ආදායම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් වෙන්කරන්නට පියවර ගත්තේය. එතෙක් කලක් සිදුව තිබුණේ එහි අදායම දේවාලයේ කපු මහතුන් අතට විවිධාකාර ක්‍රම මගින් පත්වීමය. එසේ කපුමහතුන් අතට පත්වූ දේවාලයේ තුටු පඬුරු ආදායම වසරකට කෝටියකට එහා ගිය බව කොබවක ධම්මින්ද හිමියන්ද දැන සිටියහ. උන්වහන්සේ ඊට වැට බැඳීමත් සමග ඒ වන විට දේවාලයේ ප්‍රධාන කපු තනතුර දැරූ අසේල බණ්ඩාර උන්වහන්සේ සමග ගැටෙන්නේ දේවාලයේ කපුකම පරම්පරාවෙන් ඔවුන්ට උරුම වූවක් බැවින් එහි ආදායමද තම පරම්පරාවට හිමිවන බව කියමිනි. ඒ යැයි කියා දේවාලයේ තුටු පඬුරු ආදායම අසේල බණ්ඩාරට රැගෙන යන්න කොබවක ධම්මින්ද හිමියන් ඉඩදෙන්නට ගියේ නැත.

දේවාලයේ තුටු පඬුරු අසේලට සිය පුද්ගලික පරිහරණයට ගැනීමට තිබුණු සෑම හිඩැසක්ම උන්වහන්සේ අහුරා දැමීය.
ඒත් එක්කම උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ බැතිමතුන් විසින් මහසෙන් දේව ප්‍රතිමාවට පූජාකරන රන් මාල සහ රන් ආභරණ අසේල සිය සන්තකයේ තබා ගන්නා බවය. ඊටද කොබවක ධම්මින්ද හිමියන් වැට බඳින්නේ පූජා කරන රන් ආභරණ ගැන වෙනමම සොයා බලමිනි. එවිට උන්වහන්සේට දැන ගන්නට ලැබෙන්නේ දේව ප්‍රතිමාවට පූජා කරන රන් ආභරණ වෙනුවට රන් ආ‍ලේපිත ව්‍යාජ රන් ආභරණ තබා අසේල සිය කනෙන් රිංගන බවය. එම වංචාව දිනක් උන්වහන්සේගේ අතටම හසුවූහ. ඒ උන්වහන්සේට හිතවත් දායකයෙක් විසින් දේවාලයට පරිත්‍යාග කළ පවුම් 05ක මාලයක් වෙනුවට ඔහු ව්‍යාජ රන් මාලයක් ප්‍රතිමාවට පලඳවා තිබියදීය. එවිට අසේලට උන්වහන්සේගෙන් සමාවක් නොවීය. දේවාලයේ කපුකමින් ඔහුව පන්නා දමන්නේ වෙනත් කපුවෙකුට ඒ තැන ලබා දෙමිනි. ඒ මෙයට වසර එකහමාරකට පමණ පෙරය.

කොබවක ධම්මින්ද හිමියන්ට තර්ජන එල්ල වන්නේ ඒත් සමගිනි..  ඒ වෙන කිසිවෙකුගෙන් නොව, අසේලගෙනි. ඒ වන විට දේවාලයේ ආදායමින් අසේල කෝටිපතියෙක් බවට පත්ව සිටියේය. ඔහු මිලියන හත අටක් වටිනා සුඛෝපභෝගී ජිප් රථයක හිමිකරුවෙක් බවටද පත්ව සිටියේය. ගේ දොර වතුපිටි පවා මිලදී ගෙන තිබුණේ දේවාලයෙන් ලැබුණු තුටු පඬුරු ආදායමෙනි. එතෙක් කලක් අසේල ගත කළ සුභෝපබෝගී ජීවිතයට දේවාලයේ කපුකම අහිමිවීම දැඩිව බලපෑවේය. මැර කණ්ඩායමක් සමග ගොස්  උන්වහන්සේට තර්ජනය කරමින් බලහත්කාරයෙන් නැවතත් දේවාලයේ කපුකමට එන්නට ඔහු උත්සාහ දරන්නේ එබැවිනි. එය අසාර්ථක වන්නේ උන්වහන්සේටද සමාජයේ යම් සිවිල් බලයක් පැවැති නිසාය. අවසානයේදි අසේල උත්සාහ දරන්නේ අධිකරණ නියෝගයක් හරහා දේවාලයට රිංගන්නටය. හම්බන්තොට මහාධිකරණයේ ඔහු ඉකුත් වසරේදී කොබවක ධම්මින්ද හිමියන්ට එරෙහිව නඩුවක් පවරන්නේ ඒ අනුවය. ඔහුගේ තර්කය වූයේ දේවාලයේ හිමිකම පරම්පරාවෙන් උරුම වූවක් බැවින් එහි අයිතිය මෙන්ම ආදායමද සිය පරම්පරාවට අයත් බවය.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ එකී නඩුවේ තීන්දුව අධිකරණය විසින් ලබාදෙන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ දේවාලයේ හිමිකම ඇත්තේ කිරිවෙහෙර විහරාධිපති හිමියන්ට බව සඳහන් කරමිනි.

කොබවක ධම්මින්ද හිමි ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඒ සඳහා අසේල විශ්වාසවන්තයින් ලෙස යොදා ගන්නා පළමු වැන්නා වන්නේ සිය බාල සහෝදරයාය. දෙවැන්නා කතරගම ලැගුම්හලක සේවකයෙකි. කතරගම පැත්තේ ඔහු ප්‍රසිද්ධව සිටින්නේ වඳුරු කළුවා යැයි කියාය. තුන් වැන්නා වෙඩික්කරුය. යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහුද කතරගම පැත්තේ ලැගුම්හලක සේවයේ නිරතව සිටින කෝකියෙකි. ගම්වැසියන් ඔහුව හඳුන්වන්නේ රාලහාමි යැයි කියාය. මේ තිදෙනා සමග තැන් තැන්වල මත්පැන් පානය කරමින් කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට දින ගණනාවක්ම අසේල සැලසුම් කළේය. ඔහුගේ සැලසුම වූයේ ධම්මින්ද හිමියන් ඝාතනය කර දේවාලයට රිංගීමය. ඒ වෙනුවෙන් ඔහු කන්න බොන්න පමණක් නොව, සිය සගයන්ට අතපය දිගහැර විය පැහැදම්ද කළේය.

ධම්මින්ද හිමියන්ට වෙඩි තබා මරා දැමීමට බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඔහු සොයා ගත්තේය. ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට අසේල දින වකවානුද තීරණය කරන්නේ මේ සියලු සම්පත් රැස්කර ගැනීමෙන් අනතුරුවය.

ධම්මින්ද හිමියන්ට ඒ වන විටත් ‍පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විශේෂ ආරක්ෂාවක් බලධාරීන් විසින් ලබාදී තිබුණේය. ඒ උන්වහන්සේට එල්ල වී තිබුණු මරණිය තර්ජන හේතුවෙනි. එම තර්ජන අතර අසේල සමග ඇතිකරගත් දේවාලයේ ගැටුමට පරිබාහිර වෙනත් කාරණා මුල්කරගත් ඒවාද විය. එබැවින් අසේල සැලසුම්කරන්නේ ධම්මින්ද හිමි ඝාතනයට ඔහුගේනම නොගෑවී වෙනත් සිද්ධියක් ඉස්මතු වන ආකාරයට එම ඝාතනය කරන්නටය. එහිදී ඔහු වඩාත් සැලකිලිමත්වන්නේ උන්වහන්සේ අනාරක්ෂිත වන අවස්ථාවක් බලා සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාලයක් තිස්සේම ධම්මින්ද හිමියන්ගේ ෙදෙනික චර්යාව දැන සිටි ඔහු උන්වහන්සේව ඝාතනය කරන්නට තීරණය කරන්නේ කිරිවෙහෙර අභියසදී රාත්‍රි කාලයේදීය. ඒ උන්වහන්සේ පුරුද්දක් ලෙස ෙදෙනිකව රාත්‍රි කාලයේ කිරි වෙහෙර වන්දනා කිරීමට පැමිණෙන බැවිනි.

එදා 12 වෙනිදාත් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් සමග කිරිවෙහෙරට වැඩියේ වන්දනා කිරීමටය. සිය ගණනක් වන්දනාකරුවන් අතරින් ගොස් උන්වහන්සේ සෙසු භික්ෂූන් සමග එක්ව කිරිවෙහෙර වන්දනාකර, ආවාසයට යාමට සූදානම් වන්නේ රාත්‍රි 10.45 ට පමණය. ඒ වන විට උන්වහන්සේ ගොදුරු කර ගැනීමට අසේල සිය සගයන්ද සමග කිරිවෙහෙර සමීපයට එන්නේ ඔහුට අයත් විසල් වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයේ නැගීය. ඔහු එම රථයම මේ සදහා යොදා ගන්නේ කතරගම පූජා භුමිය ඇතුළත ඇති මාර්ගය ඇතුළු වීමටත් බාධාවකින් තොරව ගමන් කිරීමටත් එකී වාහනයේ අංකයට ඇති අවසරය නිසාය. නොමැතිනම් වාහන පූජා භුමියේ ඇති මාර්ගයට ඇතුළු කිරීමට ‍පොලිසියෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ පහසුවත් ආරක්ෂක මුරක‍පොලුවල සිටින ආරක්ෂක නිලධාරීන් වාහනය හඳුනන බැවින් ධම්මින්ද හිමි ඝාතනයෙන් පසු සිය සගයන්ව ආරක්ෂාකාරීව පරීක්ෂාවකින් තොරව පූජා භූමියෙන්  ගමන් කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඔහු සිය වාහනයම ඒ සඳහා යොදා ගත්තේය.

කිරිවෙහෙරට කිට්ටුව මාර්ගය අයිනේ අසේල වාහනයේ රැඳී සිටියේය.  රාලහාමිට ගිනිඅවිය ලබාදෙමින් සිය සහෝදරයා සමග ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට පිටත් කර යැවුවේය. ඒවන විට ධම්මින්ද හිමියෝ කිරිවෙහෙර වන්දනා කර සෙසු භික්ෂූන් දෙනමත් සමග ආවාසය බලා වැඩම කරමින් සිටියේය. කිරිවෙහෙරේ උඩ මළුවේ සිට උන්වහන්සේලා පඩි බසිමින් සිටියදී එකවරම උන්වහන්සේ ඉදිරියට කඩා වදින්නේ රාලහාමිය. එතෙක් වේලා සඟවාගෙන සිටි බෝර 12 අවිය ක්‍රියාත්මක කරන්නේ ධම්මින්ද හිමියන් වෙතය. වෙඩි එකක් දෙකක් නොව, තුනක්ම ඔහු උන්වහන්සේ වෙත තැබුවේය. ඒ වෙඩි උණ්ඩ උන්වහන්සේට පමණක් නොව, උන්වහන්සේ අසල සිටි වීදා‍පොළ සෝභිත හිමියන්ගේ පාදයකටත් වැදුණේය.

ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂකයින් ඒ වන විට සිටින්නේ  උන්වහන්සේලාට මඳක් ඈතිනි. වෙඩි හ¾ඩින් කලබල වන ඔවුන් උන්වහන්සේලා සිටි ස්ථානයට දිව එන විටත් රාලාහාමිත් අසේලගේ සහෝදරයාත් එක පිම්මේ දිව යමින් සිටියේ කිරිවෙහෙර සහ කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් අතරින් රිංගමිනි. ‍පොලිස් ආරක්ෂකයින් සතුව රිවෝල්වර තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම ඔවුන්ට ඉඩක් නොවීය. ඒ යැයි කියා ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක සෙබළෙක් සහ ‍පොලිස් කොස්තාපල්වරයෙක් වැඩේ අතහැරියේ නැත. රාලහාමි පසුපස පැන්නුවේය. ඔවුන් දෙදෙනා අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ‍පොලිස් කොස්තාපල්වරයාටත් සිවිල් ආරක්ෂක සෙබළාටත් වෙට්ටු දමා ඔවුන් දෙදෙනා අතුරුදන්වන්නේ අසේලගේ ජිප් රථයේ නැගීය. ඔවුන් දෙදෙනා එම ජිප් රථයට ගොඩවන අයුරු ඈත තියාම ‍පොලිස් කොස්තාපල්වරයා දුටුවේය. ඔහුට එම රථය හොඳට හුරු පුරුදුය. ඒ බව ඔහු සිය ‍පොලිස් ප්‍රධානීන්ට කීවේය. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වූ කතරගම ‍පොලිසියේ නිලධාරීන් අසේලගේ නිවස වටලන්නට වූයේ ඔහුව සොයාය. ඒ වන විටත් ඔහු සිටියේ ජිප් රථය සිය ගෙවත්තේ අතහැර දමා පලා ගොසිනි. අනතුරුව ‍පොලිස් කණ්ඩායම ඔහු පදිංචි නිවස දැඩි සෝදිසියකට ලක්කළේය. ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ ගිනි අවිය මුළුතැන් ගෙය පැත්තේ ඇති දර ගොඩක් අතර සඟවා තිබියදී හමුවන්නේ එවිටය. අනතුරුව ‍පොලිසිය කොටුකර ගන්නේ වඳුරු කළුවාය. ධම්මින්ද හිමියන් ඝාතන සැලසුමට මුල සිටම සම්බන්ධවී සිටියත් අවසාන මොහොතේ ඔහු අසේලව මගහැර සිටියේය.  අසේලගේ සහෝදරයා සහ රාලහාමි ගැන ‍පොලිසියට තොරතුරු හෙළිකරන්නේ ඔහුය.  ඒ අනුව ‍පොලිසිය රාලහාමිව අත්අඩංගුවට ගත්තේ ධම්මින්ද හිමියන්ගේ ඝාතන තැතේ වෙඩික්කරුවා ලෙසිනි.