ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමට අතර රුපියල් මිලියන 4700 ක් වැය කර ඇති අතර සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති සහ අගමැති අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රුසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කිරීමට නියමිතය.ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වෙයි.
එහිදී පැවැති උත්සව සභාව අමතමින් ජනපති ප්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වාදිය හැකි බවයි.
ජනවාරි 8 වැනිදා දේශපාලන විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනපතිවරයා මෙහිදී යෝජනා කළේය.
අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.