රාජපක්ෂලා අපේ සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

රාජපක්ෂලා අපේ  සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!
Spread the love

ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන…

තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවයි.

“මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වලටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොද නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා….. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍යවේදීවකු විමසා සිටියේ රණතුංග පවුල කඩන්න හදන්නේ රාජපක්ෂලාද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පැවසුවේ එය අද ඊයෙක සිදු වුණු දෙයක් නොවන බවයි.

“ අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලනඥයන් එය සිදු කරනවා.

එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබා ගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.

රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුනට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොදයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ.

අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්. කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. පක්ෂය කඩන්න කුඩු කරන්න හැදුවෙත් නැහැ. ප්‍ර‍ශ්න ඇතිවන හැම වෙලාවකම පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ කෙනෙක්.

එතුමා ගැන අපිට පුත්තු විදියට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ තාත්තා හොකරම් කළ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලනඥයින්ට ආදර්ශයක්. ඔය දේශපානඥයින් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍ර‍මවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන….”