රාජපක්ෂලා එක්ක මම යහන් ගතවෙන්නේ නෑ.. ගෝඨාට බෑ.. බැසිල් හොරෙක්.. – කලකට පසු විමල් කට අරියි..

රාජපක්ෂලා එක්ක මම යහන් ගතවෙන්නේ නෑ.. ගෝඨාට බෑ.. බැසිල් හොරෙක්.. –  කලකට පසු විමල් කට අරියි..
Spread the love

රටේ මොනවද වෙන්නේ. ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය- ජවිපෙ ඉන්න කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී හිටපු ඔබ ඇයි දැන් විධායක ජනාධිපති ධුරයට පක්ෂව ඉන්නේ?

පිළිතුර- ජනතා විමුක්ති පෙරමුණ තුළ අපි ඉගෙන ගත්තු දර්ශනයට අනුව ඕනෑම කාරණයක් තීරණය වෙන්නේ ඓතිහාසිකවත් විෂය මූලිකවත්. දැන් පවත්නා තත්ත්වය පිළිබඳව අපට හරියාකාර මැනීමක් තියෙන්න ඕනෑ. අද තියෙන්නේ 1978 දී ගෙනාව ව්‍යවස්ථාව නොවෙයි. 13 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 17 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච, 18 වැනි සංශෝධනයෙන් වෙනස් වෙච්ච 19 වැනි සංශෝධනයෙනුත් වෙනස් වෙච්ච ව්‍යවස්ථාවක් තියෙන්නේ. එතකොට 78දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට 13 තිබ්බෙත් නෑ.

මම කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. ජනතාවට අවශ්‍ය අපේ අවුරුදු 10ක ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැති වෙච්ච යහගුණ වර්ධනය වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැවත බලාපොරොත්තු වෙන්නේ නෑ. 

ප්‍රශ්නය- මහා පරිමාණ යුද්ධයක් තියෙන කාලේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරලා දැන් යුද්ධයක් නැති කාලේ ඒක ආරක්ෂා කරන්න කතා කිරීම දෙබිඩි නැද්ද?

පිළිතුර- ඒ කාලෙත් ඒක යෝජනා කරන්නේ මම නොවෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණයි.

ප්‍රශ්නය- මම කියන්නේ ඔබ ජවිපෙ ඉන්න කාලය ගැනයි.

පිළිතුර- ඔව් ජනතා විමුක්ති පෙරමුණයි ඒක යෝජනා කරන්නේ. මම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ මතයයි මම ඒ ඉදිරිපත් කළේ.

ප්‍රශ්නය- ඒ කියන්නේ එදා ඒ ගැන රටට කිව්වේ හදවතින්ම නොවෙයි?

පිළිතුර- ඒ මතය මගේ පෞද්ගලික මතයට එකඟද නැද්ද කියන කාරණය වැදගත් නෑ. ඒ කාරණය පසෙක තබලා ජනතා විමුක්ති පෙරමුණේ මතය මම රටට කිව්වා. ඔව් එදා ඒ මතය මම නියෝජනය කළා. 

ප්‍රශ්නය- ඔබ කියන විදියට එහෙමනම් කවදාවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න වෙන්නේ නෑ!

පිළිතුර- නෑ පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා 13 වැනි සංශෝධනය ඉවත් කිරීම, ඒ වගේම මැතිවරණ ක්‍රමය පූර්ණ කොට්ඨාස ක්‍රමයට පරිවර්තනයවීම මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එකට​ වෙනකොට ඒක කරන්න පුළුවන්.

ප්‍රශ්නය- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් බරපතළ මතභේද තියෙනවා?

පිළිතුර-  මතභේදයක් නෑ කියලා මම කියන්නේ නෑ. අපේ අපේක්ෂකයා තව නොබෝ කාලයකින් රටට ප්‍රකාශ කරයි.

ප්‍රශ්නය- ඒකාබද්ධයේම සමහරු කියනවා ඔබ ගෝඨාභයගේ නම කිව්වා කල් වැඩියි කියලා?

පිළිතුර- නෑ ඒක මම කියන දෙයක් නොවෙයි. 

ප්‍රශ්නය- ඔබ කොහොමටවත් බැසිල් රාජපක්ෂට කැමැති නෑ?

පිළිතුර- බැසිල් රාජපක්ෂ එක්කවත් වෙනත් කා එක්කවත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. දේශපාලන වශයෙන් මතභේද තියෙන්න පුළුවන්. විවාද තියෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ.

ප්‍රශ්නය- මොනවද ඒ කාරණා!

පිළිතුර- ඒවා අතීතය. ඒ අතීතය නැවත හාරා ඇවිස්සිය යුතු නැහැ කියලයි මම කියන්නේ.

ප්‍රශ්නය- නමුත් ඔබව හැඳින්වුණේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ලොකු පුතා හැටියටයි?

පිළිතුර- ඒකත් වෙනම කාරණයක්. ඒ නිසා මට පෞද්ගලික ප්‍රශ්න මුකුත්ම නෑ. ඒත් දේශපාලන ප්‍රශ්න තියෙනවා නම් මම ඒවා ගැන කතා කරන්න පැකිළෙන්නෙත් නෑ.

 16 දෙනාට ගැරහීම කාට කරන උදව්වක්ද?

ප්‍රශ්නය- මම ඔබට බාධා කරනවා. නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දෙදි ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ඡන්දය නොදී මඟ ඇරියා. ඒකත් ඔය ව්‍යාපෘතියේම කොටසක්ද?

පිළිතුර- ඒක මෙහෙමයි තේරුම් ගන්න ඕනෑ. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දයේදී ජවිපෙ මඟ ඇරලා ගියා රනිල්ට අවශ්‍ය කෙනා දිනවන්න. දෙමළ ජාතික සංධානයෙ අය මග ඇරලා ගියා රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න. ඒකාබද්ධයෙ කට්ටියකුත් මග අැරලා ගියා.

ප්‍රශ්නය- ඒත් රනිල්ට ඕනෑ කරන කෙනා දිනවන්න?

පිළිතුර- ඔබට පිළිතුර පැහැදිලයිනේ. අරගොල්ලෝ මග ඇරලා ගියේ මොකටද? සිතා මතා නොවුණත් ප්‍රතිඵලය ඔය ඔබ කියපු එක තමයි. දේශපාලනයෙදි සමහරුන්ට තීන්දු තීරණ ගැනීමේදී සමහර විට වරදින්න පුළුවන්. සිතාමතාද නැද්ද කියන එක නොවෙයි. ප්‍රතිඵලය මොකද්ද? 

ප්‍රශ්නය- ඔබ හිතන විදියට කාටද ඒ අවශ්‍යතාවය තියෙන්නේ?

පිළිතුර- ඒක ඉතින් දේශපාලනය දිහා විවෘතව බලන කෙනෙකුට එහෙම ඉන්නවා නම් පෙනෙයි. නැත්නම් නොපෙනෙයි.