ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ තර්ජනය කළේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමටයි. ඔහු කීවේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න ඉඩ නැති බවත්, පළමුවෙන් පහර දෙන්නේ එබඳු උදවියට බවත්ය. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ කණ්ඩායම් පිළිගන්න තමන් සූදානම් නැති බවයි. එන කෙනෙක් පැමිණ තම පක්ෂයට බැඳිය යුතු බව ද ඔහු කීවා.
බැසිල් රාජපක්ෂ මහතා තවත් ප්‍රකාශයක් කරමින් කීවේ තම පාලන කාලයේ වැරදි සිදුවූ බවයි. රතුපස්වල දී හලාවත දී හා නිදහස් වෙළෙඳ කලාපයේ දී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම වැනි දෑ තමන්ගේ ඉදිරි පාලනයක දී සිදු නොවන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතු බව බැසිල් කීවා. සමාජ මාධ්‍ය මෙය හැඳින්වූයේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනියමින් කළ පහරදීමක් වශයෙනුයි.
උදය ගම්මන්පිල මහතා සඳුදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ශ්‍රීලනිපයෙන් එන දහසය දෙනාට දොස් පවරා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දේශපාලනය හරියට තෝරාගෙන නැති බවයි. වෙන රටක දී නම් එලෙස එන අය මල්මාලා දමා පිළිගන්නා බව ද ගම්මන්පිල මහතා කීවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ල කර කරන ලද ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍යවල අවධානයට ලක් වුණා.
එක්සත් වාමාංශික පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වූ වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ ‘වියත්මඟ’ වැඩපිළිවෙළටයි. ‘වියත්මඟ’ ලෙස ඉදිරිපත් කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් කිරීම ගැන වාසුදේව මහතා විරුද්ධත්වය පළ කළා. මෙබඳු තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන වැඩපිළිවෙළක් සකසා ඉදිරිපත් නොකිරීම නිසා බව කී වාසුදේව නානායක්කාර මහතා එවැන්නක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව කීවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ නොපිළිගන්නා බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් කීවා.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමියකුට බැසිල් රාජපක්ෂ මහතා දැඩිලෙස බැණ වැදී ඇති බව වාර්තා වුණා. තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමට මෙම මාධ්‍ය ආයතනය කටයුතු කිරීම නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස එම ආයතන ප්‍රධානියාට බැණ වැදී තිබෙනවා.
- පුවත් මුලාශ්‍රය – දිනමිණ පුවත්පත.