රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට රටවල් කිහිපයක් සමඟ සාකච්ජා ආරම්භ කර ඇති බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අතිශය වැදගත් පළමු පියවරවන සියලු යටිතල පහසුකම් සංවර්ධනය අපි දැන් සිදු කරමින් සිටිනවා. අපි කොළඹ සහ කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය ආරම්භ කළා. ගැටලුව වුණේ හම්බන්තොට වරාය කොහොමද සාර්ථක කර ගන්නේ කියලා. නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා මගෙත් එක්ක චීනයට ගිය ඒ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වුණා. අපි දීර්ඝ ලෙස සාකච්ජා කළා. අවසාන වශයෙන් අපිට පුළුවන් වුණා රාජ්‍ය හවුල්කාරිත්වයකට එළඹෙන්න චයිනා මර්චන්ට් හා වරාය අධිකාරිය අතර. ඒ තුලින් අපි ගෙවන්න තිබුණු ණය බිලියන ගණනක් අඩු වුණා.”
“ප්‍රවාහන අමාත්‍යවරයා දැන් ඉන්දියාව සමඟ සාකච්ජා ආරම්භ කළා මත්තල ගුවන්තොටුපල ගැන ඉන්දියානු සමාගමක් සමඟ ඒ හා සමාන රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කර ගන්න. දැනටමත් වරාය ක්‍රියාත්මකයි. මට දැන ගන්න ලැබුණා ඒ සමාගම ඩොලර් මිලියන 600ක් වරාය සඳහා ආයෝජනය කරලා තියෙනවා කියලා. ඒ වගේම දැනට ක්‍රියාත්මක සාකච්ජා අවසන් වුණාට පස්සේ මේ වසර අවසන් වන විට මත්තල ගුවන්තොටුපළේද මෙහෙයුම් ආරම්භ කරන්නට හැකි වේවි. අපි සිංගප්පුරු සමාගමකට භාර දුන්නා ත්‍රිකුණාමලය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කරන්න. ඒ සැලැස්ම ගිය සතියේ අපට ලැබුණා. දැන් අපි මිතුරු රටවල්වල සාකච්ජා ආරම්භ කරලා තියෙනවා ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
