රෝගීන් ප්‍රාණ ඇපයට තැබීමට එරෙහිව දැඩි පියවර – ඇමති රවිගෙන් ප්‍රකාශයක්…

Spread the love

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල්බුරු නිදහසක් ලෙස යොදා ගනිමින් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන කුමන පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

රජය අපහසුතාවයට පත් කරමින්, රට තුල අරාජික තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියාකරන කණ්ඩායම් නීතියේ රැහැනට නතු කර ගැනීමට පොලිසිය මීට වඩා වේගවත්ව කටයුතු කළ යුතු බව ද, විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පෙරවරුවේ, හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මෙල් මහතා හමු වී, ඒ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා.

”ආණ්ඩුව දැන් ඕනෑවටත් වඩා ඉවසුවා දැන් ඒ සීමාව අවසන් වීගෙන යනවා ප්‍රජාන්ත්‍රවාදීව බලයට පත් වූ ආණ්ඩුවකට වගකීමක් තියෙනවා රටේ බහුතර ජනතාවගේ අයිතිවාසිකම් රැක දෙන්න. අද වෛද්‍යවරු වැඩවර්ජනය කරන්නේ කිසිදු පදනමකින් තොරවයි. රටක් මෙලෙස ඉදිරියට ගෙන යන්න පුලුවන්ද ? සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් පසු ගියදා සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන සිදු කළ රාජ්‍ය දේපල හානි කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

රොනී ද මෙල් හිටපු මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළේ රට ඉදිරියට රැගෙන යාම සඳහා රජයේ වැඩ පිළිවෙළ ගැනයි. මා මුදල් ඇමති ලෙස කටයුතු කිරීමේදී රොනී ද මෙල් මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම් විශාල ලෙස ප්‍රයෝජනයට ගත්තා. එතුමා හැම මොහොතකම ප්‍රකාශ කළේ මා ඉදිරි පත් කළ අය වැය යෝජනා දීර්ඝ කාලින දැක්මක් සහිත යෝජනා වූ බවයි. ආසියානු ෆැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍රාවීමට මගේ ආර්ථික දැක්ම වගේම, රොනී ද මෙල් මහතාගේ මඟ පෙන්වීම් ද බල පෑමක් වුනා” යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

[rns_reactions]