ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.
Spread the love

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට වගකිවයුතු නියම මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින බවට මේවන විට මතයක් මතුව තිබේ.

ඒ ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැතිවීම නිසාය.

කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි වෙනස්කිරීම හා සාක්කි කරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පමණකි.

එම චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූයේ යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේම් උදුලාගම හා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන්ය.

ප්‍රසන්නට හා සුගතපාලට මේ වනවිට මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා එල්ලව තිබේ.

උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කිරීමය. ඔහු අත්අඩංගුවට පත්වූයේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුවය.

ලසන්තගේ පරීක්ෂණයට අදාළව මේ වනවිට නවසිය පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් දෙසිය අනූ පස් දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පසුගියදා හෙළිකර තිබිණි .

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය මේවන විට හෙළිකර තිබේ.

ඝාතනය සිදුවීමට පෙර දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කාර්යාලය අසල මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ගැවසී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වර්ෂ 2008 ජනවාරි 01 වැනිදා සිට 2009 ජනවාරි 31 වැනිදා තෙක්‌ කාලය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ විස්‌තරයක්‌ ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා නීති අංශයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් ඒවා සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.

ඒ අනුව එම බළකායේ කඳවුරු පිහිටි ස්‌ථාන එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, භාවිතා කළ දුරකථන අංක අදාළ නිලධාරීන් සඳහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරියාගේ විස්‌තර භාවිතා කළ සියලු රථ වාහන හා එහි අංක හා එහි අයිතිකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

My3 Fonseka

ෆොන්සේකාගේ ආරක්ෂකයෝ අත්අඩංගුවට ගැනීම

වසර 2010 ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි.

රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි.

ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

Hendwitharana

කපිල හෙන්දාවිතාරණ

හිටපු හමුදාපතිගේ කට උත්තරය

එවකට හිටපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය කට උත්තරයක් ලබාගෙන තිබේ. එහිදී ෆොන්සේකා මහතා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ මෙහෙයවුණු කල්ලියක් මගින් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර දියත් කෙරුණු බවය.