ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.
නිල සුරතලාගේ රංගනයක්
සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.