වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා

වගා කරන ආහාර භෝගවලින් 40%ක්‌ සතුන් විනාශ කරනවා
Spread the love

ග්‍රාමශක්‌ති වැඩසටහන යටතේ සිදු කෙරන වගාවන් සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම විශාල ගැටලුවක්‌ වී තිබෙන බව ප්‍රකාශ වීමෙන් පසුව අදහස්‌ දක්‌වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආහාර වගාවන්ට සතුන්ගෙන් හානි සිදුවන බව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ප්‍රකාශ වන බව පැවසීය.

ලංකාවේ තරම් ලොව කිසිම රටක මෙවැනි විශාල ප්‍රමාණයක්‌ ආහාර සතුන්ගෙන් විනාශ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

අලින්, රිළවුන් සහ වඳුරන් වගාවන් විනාශ කරන බවත්, පොල්ගෙඩි දස ලක්‍ෂයක්‌ පමණ රිලවුන්, වඳුරන්ගෙන් විනාශ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ ආකාරයට මිනිසුන් වගාකරන ආහාර සතුන්ගෙන් විනාශ වුවහොත් මිනිසුන්ට කුසගින්නේ ඉන්නට සිදුවනු ඇතැයි පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යසන සම්බන්ධයෙන් පැහැදිලි විසඳුමක්‌ අවශ්‍ය යෑයිද පැවසීය.

වගාවන් විනාශ කරන සතුන් සම්බන්ධයෙන් ගන්නා පියවරකට ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන වැනි අංශ විරෝධය පළ කිරීමට ඉදිරිපත් වනු ඇතැයිද එහෙත් මෙම විනාශය වැළැක්‌වීමට කිසියම් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ අවශ්‍ය යෑයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ග්‍රාමශක්‌ති වැඩසටහන මගින් ග්‍රාමීය මට්‌ටමේ ජනතාවට සුවිශාල සේවයක්‌ හා ආර්ථික වර්ධනයට අත්වැලක්‌ ලබාදිය හැකි බැවින් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාලය හා වෙනත් සමාජ සංවර්ධන ආයතනවල සහායද ලබා ගැනීමට දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් උනන්දු විය යුතු යෑයිද ජනාධිපතිවරයා පැවසීය.