කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් ලෙසට ලබා දීමට වයාපාරිකයෙකුගෙන් රැපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ බිරිඳ ට එරෙහි නඩුව අද (13) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු නඩුව සඳහා සූදානම් නොවීමේ කාරණය මත නඩු විභාගය හෙට දිනට කල් තැබීමට මහාධිකරන විනිසුරු චම්පා ජානකි රාජරත්න නියෝග කළා.
විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් නඩු විභාගය හෙට දිනට කල් දමන ලෙසට කණිෂ්ඨ නීතිඥවරයෙක් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික ජෙහාර්ඩ් මෙන්ඩිස්ගෙන් වැඩිදුර විත්ති පාර්ශවය විසින් හරස් ප්‍රශ්න හෙට දින සිදු කිරීමට නියමිතය.
මෙම අපරාධය 2015 වර්ෂයේ අප්‍රේල් මස 10 දා සිට එම වසරේ ජූනි මස 2 දා අතර කාලය තුල සිදුකර ඇති බවට නීතිපතිවරයා චොදනා කර සිටිනවා.