විපක්‍ෂ නායක සම්බන්ධන්ම තමයි; කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

විපක්‍ෂ නායක සම්බන්ධන්ම තමයි; කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
Spread the love

ව්‍යවස්‌ථානුකූලව හා සම්ප්‍රදායානුකූලව විපක්‍ෂ නායක ධුරයේ වෙනසක්‌ කළ නොහැකි නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‍ෂ නායකයා ලෙස තීරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ සම්ප්‍ර්‍රදායට අනුව අතීතයේ සිට විපක්‍ෂ නායකයා ලෙස පිළිගත්තේ ආණ්‌ඩුවට සම්බන්ධ නැති පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින පක්‍ෂයේ නායකයා බවද කථානායකවරයා සිය තීරණය ප්‍රකාශ කරමින් පැවසුවේය. 

මන්ත්‍රීවරුන් 70 දෙනකු සිටින තම කණ්‌ඩායමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුතු බවද ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‌ෂ නායක ධුරය ලබාදෙන ලෙසද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනකු කථානායකවරයාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් කරු ජයසූරිය මහතා ඊයේ (10) සිය තීරණය සභාවට දැනුම් දුන්නේය. 

පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (10) ආරම්භ වූ මොහොතේ දී විපක්‍ෂ නායක ධුරය සම්බන්ධ සිය තීරණය ප්‍රකාශ කරමින් කථානායකවරයා මෙසේද කීවේය.

2015 අගෝස්‌තු මස 15 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේ දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරයන් අටදෙනකුගේ අත්සනින් යුක්‌තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93 ක්‌ බවත්, එයින් මන්ත්‍රීවරුන් 70 දෙනකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්‌තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස්‌ කරමි.

තවද එම ඉල්ලීමේ සඳහන් පාර්ලිsමේන්තු විවාද සඳහා කාලය ලබාදීම සහ කාරක සභා නියෝජනය පිළිබඳවද සලකා බැලූ අතර ඒ සම්බන්ධයෙන් ද මාගේ තීරණය දැනුම්දීමට අදහස්‌ කරමි.

2018 අගෝස්‌තු මස 07 වැනි අඟහරුවාදා පුරා පැය ගණනාවක්‌ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව පක්‍ෂ විපක්‍ෂ බොහෝ මන්ත්‍රීවරයන් විසින් මතු කරන ලද සියලු අදහස්‌ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් දැනුමක්‌ ඇති අනෙකුත් විද්aවතුන්ගේ අදහස්‌ද, ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ද, පොදු රාජ්‍ය මණ්‌ඩලීය පාර්ලිමේන්තු රටවල සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජනය කරන රටවල පිළිගත් සම්ප්‍රදායන්ද ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කර මාගේ අදහස්‌ මෙලෙස ප්‍රකාශ කරමි.

විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු ඉතිහාසය මුළුල්ලේම පවත්වාගෙන එනු ලබන සම්ප්‍රදායන් හා පරිචයන්ට අනුකූලව අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහ ස්‌ථාවර නියෝගවලින් පිළිගෙන ඇති අභිමානවත් ධුරයකි. තවද අප රටට ආවේණික වෙස්‌ට්‌මිනිස්‌ටර් ආණ්‌ඩුක්‍රම සම්ප්‍රදායට සමගාමීව විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය ව්‍යවස්‌ථාදායකයටම අනන්‍ය වූ සහ පාර්ලිමේන්තු ක්‍රමයේ අත්‍යවශ්‍ය ධුරයක්‌ ලෙස සඳහන් කළ හැකියි.

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සලකා බැලීමේදී විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා ආණ්‌ඩුවට සම්බන්ධ නොවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින මහ මැතිවරණයට තරග කළ පිළිගත් දේශපාලන පක්‍ෂයක හෝ සන්ධානයක පාර්ලිමේන්තු නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් පිළිගෙන සභාවට ප්‍රකාශයට පත් කිරීමේ සම්ප්‍රදාය ඉතා පැහැදිලි සහ නිශ්චිත වූවක්‌ බව මීට පෙර අවස්‌ථාවන් අධ්‍යයනයේදී මොනවට පැහැදිලි වේ. 

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා කථානායකවරයා විසින් හඳුනාගනු ලැබුවේ මහ මැතිවරණයකදී තරග කරන ලද පිළිගත් දේශපාලන පක්‍ෂ අතුරින් ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින පක්‌ෂයේ හෝ සන්ධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායකයා වන බවයි.

මෙම සම්ප්‍රදාය මහා බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මකව පවතින රටවලද එලෙසම පවත්වාගෙන යනු ලබයි. අප අසල්වැසි ඉන්දියාවේ ද අවම ආසන සංඛ්‍යාවක්‌ ලබා ගැනීමේ සීමාවට යටත්වන නමුත් විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් තෝරා පත්කර ගනු ලබන්නේ ආණ්‌ඩු පාර්ශ්වයට අයත් නොවන අනෙකුත් පක්‍ෂ අතුරින් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින පක්‌ෂයේ නායකයා ය. 

ඒ අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පත්කර ගැනීමේ ක්‍රමවේදය අප රටේ පැවති සම්ප්‍රදායත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරනු ලබන අනෙකුත් රටවල සම්ප්‍රදායත් සලකා බැලීමේදී ඒ පිළිබඳව කිසිදු මතභේදයක්‌ නොමැති බව මා විසින් කරන ලද අධ්‍යයනයන් අනුව සඳහන් කිරීමට පුළුවන.

ඊළඟ කරුණ වන්නේ එම සම්ප්‍රදායට අනුගතව වර්තමාන පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ බෙදීම සහ සංයුතිය අනුව එම සිද්ධාන්තය අප අදාළ කරගන්නේ කෙසේද යන්න විමර්ශනශීලීව සලකා බැලීමය.

වර්තමාන තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා ගැනීමට මත්තෙන් 2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් අනතුරුව හත්වැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නිර්මාණය වී තිබූ ආකාරය පිළිබඳව අප සලකා බැලිය යුතුමය.

රනිල් වික්‍රමසිංහ මහතා, එකී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරයන් කණ්‌ඩායමක්‌ ආණ්‌ඩු පාර්ශ්වය වශයෙන් ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා ලද අතර එතෙක්‌ ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන්ගෙන සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගත්හ.

එම අලුත් වාතාවරණය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස හඳුනාගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව මාගේ පූර්වගාමී කථානායකවරයා විසින් පිළිගන්නා ලදී. 

නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය දරන ලද එම කාලසීමාව තුළදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක්‌ අමාත්‍යවරයන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලද අතර සම්ප්‍රදායානුකූලව ඔවුන්ටද ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් වෙන්කරන ලදී.

එසේම, මීට ඉහතදී පැවති රජයන්වලදීද විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විවිධ අමාත්‍ය ධූරයන් භාරගෙන ආණ්‌ඩු පාර්ශ්වයේ අසුන් ගත් අවස්‌ථාද, ආණ්‌ඩු පාර්ශ්වයේ අමාත්‍යවරයන් අමාත්‍ය ධුරවලින් ඉවත් වී විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් අවස්‌ථාද තිබෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනයේ 46 ව්‍යවස්‌ථාවේ (4) සහ (5) අනු ව්‍යවස්‌ථා ප්‍රකාරව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීම පිණිස 2015 සැප්තැම්බර් මස 03 වැනිදින පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග 47 (1) (ඇ) විධි විධානවලට අනුව නමින් සිය ඡන්දය භාවිතා කරමින් පක්‍ෂව මන්ත්‍රීවරයන් 143 ක්‌ සහ විපක්‌ෂව 16 ක්‌ වශයෙන් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව දැනට බලාත්මකව පවතින ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හවුල්කාර පක්‌ෂයක්‌ වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස්‌ වී තිබෙන ආකාරය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය සාධකයක්‌ බවට පත්වී තිබේ. 

ඒ අනුව, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක්‌ අමාත්‍ය ධුර දරමින් ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්‌ෂයක්‌ ලෙස පිළිගැනීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක්‌ මා හට නොමැත.

එබැවින් අතීතයේ සිටම අඛණ්‌ඩව පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ආණ්‌ඩුවට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින පක්‌ෂයේ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගනු ලැබීම චිරාත් කාලයක සිට පැවති සම්ප්‍රදායයි. 

ඊට අනුකූලව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුවට සම්බන්ධ නොවන විපක්‌ෂයේ අසුන්ගෙන සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ සිටින ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදියම් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මා විසින් පිළිගන්නා ලද බව 2015 සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

කරුණු මෙසේ හෙයින්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්‌ථාවේදී වෙනසක්‌ කිරීමට ව්‍යවස්‌ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක්‌ නොපවතින බව මාගේ අවසාන තීරණය ලෙස මෙයින් ප්‍රකාශයට පත්කරමි. 

කෙසේ වෙතත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව පිහිටුවන ලද ජාතික ආණ්‌ඩුවේ හවුල්කාර පක්‌ෂය ලෙස දැනට කටයුතු කරන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුව තුළ වාද විවාදවලට සහභාගි වීමේදී සාධාරණ කාල වේලාවක්‌ වෙන්කර දීමටත්, දැනට පාර්ලිමේන්තුවේ ස්‌ථාපිත කර තිබෙන සියලුම කාරක සභාවලට සාධාරණ ලෙස නියෝජනයක්‌ ලබාදීමටත්, අවශ්‍ය සෑම පියවරක්‌ ගනිමින් එම මන්ත්‍රීවරයන්ගේ අයිතීන් ආරක්‌ෂා කරන බව මම මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි.