විශ්වාසභංගය පැරදවීමට එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

විශ්වාසභංගය පැරදවීමට එජාප කෘත්‍යධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි
Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඊයේ (29 දා) ඒකමතිකව තීරණය කර ඇත.

විශ්වාසභංගය විවාදයට පසුදිනම එනම් 6 සහ 7 යන දිනවල පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇති අතර පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාසභංග යෝජනාවට පෙර 1 සහ 3 යන දිනවලදී සිදුකළ යුතු බවට පාලිත රංගෙ බණ්‌ඩාර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු කිහිප දෙනකුම එහිදී යෝජනා කර ඇත.

ඊට අමතරව 2020 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු වෙනුවට අනිවාර්යයෙන්ම අලියා ලකුණ යටතේ එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටද ඔවුන්ගේ අදහස වී ඇති අතර තවදුරටත් බොරු නොකොට පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් සිදුකොට පක්‍ෂයේ පැහැදිලි වෙනසක්‌ කළ යුතු බව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අදහස වූ බව සුජිව සේනසිංහ මහතා මාධ්‍යට පැවැසීය.

මේ අනුව විශ්වාසභංග යෝජනාව පරාජය කර ඊට පසුව පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට අවසානයේදී තීරණය වී ඇත.

පක්‍ෂය තුළ සිදුවිය යුතු වෙනස්‌කම් පිළිබඳ නිර්දේශ කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටුවේ උපදෙස්‌ මෙන්ම ප්‍රාදේශීය සභා, පළාත් සභා නියෝජිතයන්ගේ සහ පාක්‍ෂිකයන්ගේ අදහස්‌ සැලකිල්ලට ගනිමින් පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන ලෙස අගමැතිවරයා එහිදී පවසා ඇත.

මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් තිලක්‌ මාරපන කමිටුවේ නිර්දේශයක්‌ වන උපනායක තනතුරින් රවී කරුණානායක මහතා ඉවත් කළ යුතු බවට වන යෝජනාවද සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී ඒ සම්බන්ධව නීතිපතිවරයා තවම නිසි තීන්දුවක්‌ ගෙන නැති බැවින් ඒ පිළිබඳ තීරණය පසුවට ගැනීමට පක්‍ෂය තීරණය කළ බව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ වැඩිදුරටත් පවසයි.