බෙදාහදාගෙන කන්නට හුරු වූ ජාතියක් වන ශ්‍රී ලාංකිකයන් තමන් හරි හම්බකරගත් දෙයින් යම් කොටසක් අන් අය වෙනුවෙන් වෙන් කරන්නේ එයින් ලබන්නා වූ අප්‍රමාණ චිත්තප්‍රීතිය නිසාය. විශේෂයෙන්ම වෙසක් පොසොන් වැනි පොහොය දිනයන්හි පාරක් පාරක් ගානේ පවත්වනු ලබන දන්සල්වලින් මෙම කරුණ තවදුරටත් ඔප්පු වන අතර මේ ආකාරයට නොමිලේ ආහාරපාන ලබාදීම අපේ රටටම පමණක් අනන්‍ය වූවක් බවද සැලකිය හැකිය.
දන්සල් සංස්කෘතිය කවදා කොතැනකදී ආරම්භ වූවාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද එය අද වන විට වෙසක්, පොසොන් වැනි පොහොය දිනයන්හි පවත්වනු ලබන චාරිත්‍රයක් බවටම පත් වී ඇත. බහුතරයක් නොවූවද ඇතැම් පුද්ගලයන් විශේෂයෙන්ම මෙවැනි පොහොය දිනයන්හි එළිපෙහෙළියට බසින්නේද පන්සල් යාමට නොව දන්සල් වැඳීමටය. දන්සල්වලද මූලික පරමාර්ථය ආහාරපාන ලබාදීම වුවද අද වන විට එම සංස්කෘතියද වෙනස් වී ඇත. ඒ අනුව බත්, පාන්, නුඩ්ල්ස්, කිරිකෝපි, ඔසුපැන්, මඤ්ඤොක්කා, පොල් රොටි ආදිය ලබාදීම වෙනුවට කොණ්ඩා හා රැවුල් කැපීම් දන්සල්, භූමිතෙල් දන්සල්, පෙට්‍රල් දන්සල්, හාල්, පරිප්පු, පොල් ඇතුළු වියළි ආහාර ලබාදීමේ දන්සල්, නොමිලේ ප්‍රවාහන කටයුතු සිදුකිරීමේ දන්සල්, බුදු පිළිම ලබාදීමේ දන්සල්, වයිෆයි දන්සල්, නොමිලේ සිම් කාඩ් ලබාදීමේ දන්සල්, සිනමා දන්සල් පාරැ දන්සල් ආදී අමුතු ආකාරයේ දන්සල් පැවැත්වීමටද ඇතැම් දෙනා දැන් දැන් කටයුතු කරති.
ඒ අනුව මෙවර වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයෙන් වෙනස්ම මුහුණුවරක් ගත් දන්සල් පැවති අතර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පැවති කොණ්ඩා කැපීමේ දන්සල ඉන් එකකි. මෙම දන්සල් සඳහා ඇරැයුම් ලැබූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ කොණ්ඩය කැපීමෙන් දන්සල ආරම්භ වූ අතර නොමිලේ කොණ්ඩය කපාගැනීම සඳහා විශාල පිරිසක් දන්සලට එක්රැස් වී සිටියහ.
බුදු පිළිම නොමිලේ ලබාදීමද මෙවන් අපූර්ව ආකාරයේ දන්සල් ක්‍රමයක් වන අතර මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් මෙවැනි දන්සල් ද රටෙහි විවිධ ප්‍රදේශයන්හි පැවැත්විණි. මේ අනුව කුරුණෑගල ප්‍රදේශයේ එක් පුද්ගලයකු විසින් බුදු පිළිම 1000ක් මිනිසුන් අතර බෙදා දී ඇති අතර මෙයට පෙර අවස්ථාවකදී ගාල්ලේ ගල්වාඩුගොඩ ප්‍රදේශයේදී තිරුවානා කුඩුවලින් නිමවූ අඟල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ එක් ව්‍යාපාර මහතකු විසින් බෙදාහැර තිබිණි.
මිනිසුන්ට අමතරව සතුන්ටද දන්සල් ලබාදීම මෙකල ජනප්‍රිය වී ඇති අතර මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ අලින් හටද ආහාර ලබාදීමේ දන්සලක් පැවැත්විණි. මෙම දන්සල සඳහා අලින් මහත් සංයමයකින් සහභාගි වූ අතර මීට අමතරව කඩුවෙල ප්‍රදේශයේ සුනඛයන් වෙනුවෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ද පැවැත්විණි.
මෙම දන්සල්වලට අමතරව නොමිලේ උණ බට ලබාදීම, බයිසිකල් සඳහා හුළං ගැසීම, වෙසක් කූඩු දන්සල්, මල් දන්සල්, මෝටර් සයිකල් සඳහා නොමිලේ ස්ටිකර් ගැසීම, අච්චාරු දන්සල් ආදී විවිධ ආකාරයේ දන්සල් පැවති අතර ඒවා සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්ද ලැබී තිබුණි.
පාරැවෙන් එගොඩ කිරීම හා බස් සේවාවන් හරහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමද මෙවර වෙසක් පෝයට සමගාමීව සිදුකෙරුණු අතර අනුරාධපුර නෙළුම්කුලම ප්‍රදේශයේ බස් රථ හිමියකු තමා සතු බස් රථ කිහිපයක් වෙසක් පොහොය දිනයේ, එනම් පසුගිය 10 වැනිදා කිසිදු ගාස්තුවක් අය නොකර ධාවනය කරන්නට සැලැස්වීය.
අනුරාධපුර සිට නෙළුම්කුලම දක්වා හා අනුරාධපුර සිට ගුවන්තොටුපොළ හරහා යහලේගම දක්වා දිවෙන බස් රථ කිහිපයක්ම පොහොය දිනය පුරාම මෙලෙස ධාවනය කිරීම නිසා අනුරාධපුර නගරයට පැමිණි ජනතාවට හා පූජා නගරයට පැමිණි බැතිමතුන් හට නොමිලේ ගමන් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවිය. මෙය බොහෝ පිරිසකගේ පැසසුමට ලක්වූ ක්‍රියාවක් වන අතර මෙසේ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාගත් එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් මේ ආකාරයට නොමිලේ බස් රියක ගමන් කළේ ජීවිතේ ප්‍රථම වතාවට බවය.
මහනුවර ප්‍රදේශයද දන්සල් ලබාදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ගෙවීගිය වෙසක් පොහොයට පසුදින මහනුවර මහියංගණ මාර්ගයේ තෙල්දෙණිය ගඟසිරිගම ප්‍රදේශයේදී මුරුක්කු දන්සලක් පැවැත්විණි. මෙම දන්සල පැවැත්වූ දෙවැනි වතාව මෙය වන අතර මෙහිදී ලබාදුන් මුරුක්කු පැකට් ලෙස සකස් කර තිබුණි. එය පැවැත්වූයේ එම ප්‍රදේශයේ නිවැසියන් පිරිසක් විසිනි. එසේම මහියංගණය කුරුවීතැන්න ප්‍රදේශයේ දී භූමිතෙල් දන්සලක්ද නොච්චියාගම මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කොළ කැඳ හා මාළුපාන් දන්සල ද විෙශ්ෂිත වූ ඒවාය.
සියලු ලෝක සත්ත්වයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් කිරුළපන ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් විසින් මෙවර වෙසක් උළෙල සඳහා පැණි කොමඩු හා අන්නාසි දන්සලක් දෙනු ලැබූයේ ප්‍රථම වතාවටය. දන්සල් කලාවට අලුත් මුහුණුවරක් එක්කරමින් පැවැත්වූ මෙම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එම අායතනයේ ප්‍රධානී රංග දිසානායක මහතා පැවසූයේ රාගයෙන් ද්වේශයෙන් ෙමා්හයෙන් තොර ධාර්මික රටක් බිහිකර ගැනීමේ අරමුණෙන් මෙම කර්තව්‍යයේ නියැළෙන බවයි.
දන්සලක දී පළතුරැ ලබාදීම දුලභ කටයුත්තක් වන අතර මේ ආකාරයෙන් පළතුරු ලබාදෙන්නට සිතුවේ ඇයිදැයි අප ඇසූ පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.
පළතුරු කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. අපේ ශාසනය භාරව ඉන්න විෂ්ණු දෙවියන්ට අපි මේ පළතුරු පූජා කරලා ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබිලා මොක්සුව උදාකරගන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව.
මේ ආකාරයෙන් වෙසක් උළෙලේ නිමාව සටහන් වෙද්දී අගනගරයේද දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්විණි. කොළඹ නගර සභාව පවසන ආකාරයට කොළඹ නගරය තුළ දන්සල් 200ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඒ අතරින්ද වැඩි දන්සල් ප්‍රමාණයක් දක්නට ලැබුණේ ගාලු පාරේය. ෆ්‍රයිඩ් රයිස්, බත්, සීනි සම්බල් පාන්, මඤ්ඤොක්කා, එළවලු සුප්, කිරිකෝපි, තැම්බූ කඩල, අයිස්ක්‍රීම් ඇතුළු දන්සල් විශාල ප්‍රමාණයක් මේ අතර විය.
ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළදී සූපවේදීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ දන්සල හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට දියවන්නා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වූ දහස් ගණනක පිරිසකට සහභාගි විය හැකි මහා බත් දන්සල ද මෙවර අගනුවර දන්සල් අතර කැපී පෙනුණි.
[rns_reactions]





