ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් ?

ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් ?
Spread the love

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් “පූර්ව ආරක්ෂක පියවර” අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ “නිරන්තරයෙන් අධීක්ෂණය කරන” බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට දැඩි බාධකවලට මුහුණ දීමට සිදු විය.

“මෙම අවස්ථාවෙහිදී, අපගේ වෛද්‍ය විශේෂඥයන්ගේ සහ විදෙස් කාර්යාංශයේ උපදෙස් අනුව, කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට අවදානමක් තිබෙන බවට කිසිදු ඇඟවීමක් නොමැති,” බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය.

“අපගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇත්තේ එක් කොරෝනාවෛරස ආසාදිතයෙක් පමණයි. එය එක්සත් රාජධානියට වඩා අඩු සංඛ්‍යාවක් වන අතර, තවදුරටත් වෛරසය පැතිරීම සඳහා ඉහළ අවදානම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකෙන්නේ නැහැ. නමුත්, මේ තත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා.”

“ශ්‍රී ලංකාවට යන ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කරනවා. ප්‍රතිශක්තිය හැකි උපරිම මට්ටමක පවත්වා ගැනීම ඕනෑම රෝගයක් වළක්වා ගැනීම සඳහා උපකාර වෙනවා,” ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.