ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ වාර්තාගත ලකුණු 178 ලබාගෙන චමරි අතපත්තු ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර ඉන් අනතුරුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කාන්තා විස්සයි විස්ස තරග සඳහා නියෝජනයක් ලබාගැනීමට ඇය සමත්විය.
චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය.
එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අඟහරුවාදා (මාර්තු 20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය.
ඉනෝකා රණවීර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර ඇය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ලෝක කුසලානයට සහභාගි වී පරාජයට පත්විය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වූයේ සහභාගි වූ තරග හතෙන් එක් තරගයක් පමණි. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලියෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.