සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…

සැඟව තිබූ පවුලේ ආරවුල ක‌ෙටි පණිවිඩයකින් එළියට… ගෝඨාගේ ජනපති සිහිනය බිඳවැටෙයි…
Spread the love

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයගේ සහයෝගය ඇතිව ඉදිරිපත්වීමට මහත් බලාපොරොත්තු තබා සිටි ගෝඨාභය රාජපක්ෂ, මේ වනවිට එකී සියලු බලාපොරොත්තු අත්හැර දමා ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු සුලු පිරිසක් විශාල උත්සාහයක නියැලෙමින් සිටියද , විශාල පිරිසක් ඊට විරුද්ධව පෙනී සිටින්නේ බැසිල් රාජපක්ෂගේ සහයෝගය ඇතිව බව එම පෙරමුණේ ආරංචි මාර්ග ඔස්සේ දිගින් දිගටම අනාවරණය විණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ පවතින බරපතල නොකැමැත්ත එළිපිට ප්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගබලා ගත්ත ද, ගෝඨාභය රාජපක්ෂ පිලිබඳව මාධ්‍යවේදීන් විමසන ලද හැම අවස්ථාවකදීම ඊට පිලිතුරු ලබා නොදී ලිස්සා යෑමේ පිලිවෙතක් මෙම රාජපක්ෂවරු දෙදෙනාම අනුගමනය කරනු ලබන්නේ එකී නො එකඟතාවය නිසා බව අදාල ආරංචි මාර්ග ස්ථීර ලෙස ප්‍රකාශ කර සිටී.

මෙතෙක් කල් රාජපක්ෂ පවුලට පමණක් සීමාවී, රහසක්ව පැවැති මෙම ගෝඨා විරෝධය, මේ වන විට ගෝඨාභය රාජපක්ෂගේ ලඟම හිතවතුන්ගේ මාර්ගයෙන් සාමාන්‍ය පිරිස් වෙත සාක්ෂි සහිතව අනාවරණය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද කෙටි පණිවිඩයක් නිසාය.

ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කෙටි පණිවිඩය යවා ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ කටයුතු භාර ලේකම් සචින් වාස් ගුණවර්ධන මහතා වෙතය.

ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද එම කෙටි පණිවිඩයේ සඳහන්ව ඇත්තේ, තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම ගැන රාජපක්ෂ පවුලේ සියලු දේශපාලන ක්‍රියාකාරීන් සිටින්නේ නොපහන් හැඟීමකින් බවය. මේ පිලිබඳව තමා දැඩි වේදනාවකින් පසුවන බවත්, ඒ නිසාම ජීවිතයේ පළමු වරට තමන් පවුලේ සියලු දෙනා සමඟ එකට සිට අවුරුදු කෑමට මෙවර සහභාගී නොවුන බවත් තවදුරටත් සඳහන් කොට ඇත.

සචින් වාස් ගුණවර්ධන වෙත යවන ලද මෙම කෙටි පණිවිඩය, ඔහු විසින් මේ වන විට ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකුට පෙන්වා ඇති අතර, ඔවුන්ගේ මාර්ගයෙන් රාජපක්ෂවරුන්ගේ මෙම අභ්‍යන්තර අර්බුදය මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්වෙමින් තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගෙන මේ වන විට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ අනුදැනුම මත බවත්, පසුගිය ජනාධිපති මැතිවරණයට සති දෙකකට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මංගල සමරවීර මහතා රහසිගතව හමුවීමට තරම් ඉතා කිට්ටු හිතමිත්‍ර කමක් මේ දෙදෙනා අතර පවතින බැවින් මංගල විසින් ගෝඨාභයට එරෙහිව සිදු කළ ප්‍රහාරය පිටුපස මහින්ද රාජපක්ෂ සිටින බව ඉතා පැහැදිලි බවත් ගෝඨාභයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර සිටී.