දේපළ සම්බන්ධ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.
තමාට අයත් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ තිබෙන රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට කොළඹ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ජේ. ඒ. අනුර මහේන්ද්‍ර නමැත්තා විසින් ඇඹිලිපිටිය පොලීසියට කළ පැමිණිල්ලක් මත මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එම නඩුව සඳහා මන්ත‍්‍රීවරයා පසුගිය නඩු වාරයේ සහ නඩුව කැඳවූ ඊයේ දිනයේද අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත. මන්ත‍්‍රීවරයා වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්ම පෙනී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශිරාශ් යූසුප් මහතා සහ නීතිඥ රසාංගා රන්මදු මහත්මිය පෙනී සිටියහ.
මෙහිදී විත්තිකාර මන්ත‍්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.
කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් යූසුෆ් මහතා කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකරු කිසිදු හේතුවක් නොදක්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත්, නීතිය හදන ආයතනයේ සිටින කෙනකු හැටියටත් මන්ත‍්‍රීවරයකු ලෙසත් නීතියට ගරු කළ යුතු බවයි. එමෙන්ම මේ අය නීතියට අවනත නොවී වෙනත් අයට ප‍්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් අන්දන්න කතා කිරීම පුදුම සහගත බවද පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය. මේ නිසා විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ලේ නීතිඥ ශිරාස් යූසුෆ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය සැකකාර මන්ත‍්‍රීවරයා සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.