හුදකලාව ප්‍රේමවන්තයන්ගේ එකම රජදහනය. ඔවුන් හැමවිටම උත්සහ ගන්නේ සමාජය ඉදිරියෙන් හුදෙකලා වන්නටය. මේ නිසාම මල් උයනේ පඳුරු අසල සිට හෝටලයක කාමරයක් දක්වා ඒ හුදෙකලාව ඔවුහු විඳගැනීමට උත්සාහ කරති. එසේ උත්සාහ කිරීම ද වරදක් නැත. එහෙත් ඊට වයස සහ සීමාව හඳුනාගෙන ක්‍රියාකිරීම ප්‍රධාන වශයෙන් වැදගත් කරුණක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතුය.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ප්‍රේම කරන ආකාරය ගැන නොවේය. ප්‍රේම කරන හැටිද නොවේය. මේ කියන්නට යන්නේ ලාංකීය ප්‍රේමවන්තයන් (විවාහක ප්‍රේමවන්තයන් ඇතුළත්ව) මුහුණ දෙන අභියෝග සහ ලාංකීය ප්‍රේමවන්තයාගේ ජීවිත අවදානම ගැනය.
මේ කතාව ලියුම්කරුගේ අත්දැකීමකින් ආරම්භ කිරීමට කැමතිය. දිනක් ලියුම්කරු තවත් පිරිසක් ද කැටුව මහනුවර ප්‍රදේශයේ සංචාරයකට ගිය අවස්ථාවක දහවල් ආහාරය ගැනීම සඳහා මහනුවර නගරයේ පිහිටි එක්තරා උද්‍යානයක් වෙත ගියේය. ඒ උද්‍යානයට ඇතුළු වු තැන සිට කෙළවර තෙක් සිටින්නේ පෙම්වතුන්ය. පිටින් එන කිසිවකුට එහි ගත කිරීම සඳහා කිසිදු ඉඩක් නැත. සිමෙන්ති බංකු පමණක් නොව ගස් ගල්, පඩිපෙළවල් මත පවා පෙම්වතුන් පෙම් සුව විඳිති. එතන අපට ඉඩක් නොමැති නිසා අපි නැවත හැරී එන්නට වීමු. එසේ එන විට තැන් කිහිපයක තරමක් වැඩිමල් පිරිමි පුද්ගලයන් වාඩිවී සිටින අයුරු දැකගත හැකිවිය. ඔවුන් එක එකා තනිව සිටි අතර ඔවුන්ගේ ඇස් එල්ලවී තිබුණේ නිදහස් පෙම්වතුන්ගේ හැසිරීම් දෙසය. එය දුටු සැණින් සැකයක් උපදවන්නට විය. පසුව ලියුම්කරු ඇතුළු පිරිස එළියට පැමිණ ත්‍රීවිල් කිහිපයක නැගී මහනුවර නගරයට එමින් සිටියහ. එසේ එන අතරතුර ත්‍රීරෝද රථ රියදුරු සමඟ ලියුම්කරැ කතාවට වැටුණේය. මෙහිදී ලියුම්කරු ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීය .එකක් මෙතරම් පෙම්වතුන් එහි සිටින්නේ ඇයිද කියාය. දෙවැනි කාරණය හුදකලා වූ පිරිමින් එහි කුමක් කරන්නේ ද යන්නය. ඔහු දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමි.
“ඔය ළමයි පහුගිය කාලේ හිටියේ වැව රවුමේ. එළියේ. ඊට පස්සේ කවුරු හරි ගොනෙක් කියලා තිබ්බා මේ පූජා භූමිය අවට ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වැව රවුමේ ඉන්න ඔක්කොම එළෙව්වා ඔය ගුබ්බෑයමට. ඉස්සර ඔතන පොඩි ළමයි හිටියේ. දැන් ඔන්චිල්ලාවල පවා කපල්. එන්න එන්න දවසට කපල් වැඩි වෙනවා. ඊට පස්සේ ඔතන ටිකට් කඩන්න හිටිය තරුණ පහේ උන්ව එළවලා නාකි උන්දෙන්නෙක් ගෙනත් දැම්මා. උන් දෙන්නා පට්ට හොරු. පරණ ටිකට් එකක් දීලා සල්ලි ගහනවා. ඒ විතරක් නම් කමක් නෑ සමහර අසහනකාරයෝ ඉන්නවනේ මහත්තයා බලලා සැනසෙන උන්. ඔය උන් පෝලිමේ ඕකට රිංගනවා. නිල වශයෙන් ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 30යි. ඒත් උන්ගෙන් ගන්නවා 150 – 200 වගේ ගාණක්. ටිකට් දෙන්නේ නෑ. උන් ඇතුළට ගිහින් වාඩිවෙලා අර ළමයි කරන දේවල් බලාගෙන ඉන්නවා. සමහර උන් වීඩියෝ කරනවා. ගොඩක් එන්නේ අවුරුදු 40 ට වැඩි උන්. ඒ ළමයිනුත් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඒ අය කරන දේවල් අරුං බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර උන් වීඩියෝ කරනවා. අනික ඔය ළමයි අර වැව රවුමේ හිටියා නම් ඔයිට වැඩිය විනීතව හැසිරෙනවා.”
මෙතනින් එහාට මේ ගැන කියන්නට දෙයක් නැත. එවැනි අසහනකාරීන් වෙසෙන රටක පෙම්වතුන්ගේ ආරක්ෂාව ගැන කුමන කතාදැයි අපට ඇසීමට ඇත. ඒ කතාව එසේ තබා අප දෙවැනි කතාවට එන්නෙමු.
පසුගිය සතියේ දිනෙක මාධ්‍ය තුළ කතාබහට ලක්වන පුවතක් ප්‍රචාරය විය. ඒ කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විවාහක යුවලක් මුහුණ දුන් සිද්ධියක්ය. ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ හෝටලයකි. මධුසමය ගතකර ඊට පසුදින එන්නට සූදානම් වෙද්දී ඔවුන්ට දැක ගැනීමට හැකිවුයේ එම කාමරයේ දොරෙහි සිදුරු දෙකකි. ඇහැ තබා බැලිය හැකි එම සිදුරු එල්ල වී තිබුණේ ඔවුන්ගේ සයනය දෙසටය. මේ නිසා කැළඹීමට පත් යුවළ පොලීසියට දැනුම් දුන්නේ කවුරුන් හෝ අයකු ඔවුන්ගේ මධුසමය වීඩියෝ ගතකර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව පොලීසිය පැමිණ අදාළ හෝටලයේ පරීක්ෂණ පැවැත්වූ අතර එවැනිම සිදුරු දොරක් සහිත කාමරයක් ඊට යාබද දුරින් පිහිටා තිබුණේය. එම කාමරයේ ද සිදුරු අතරින් බැලූ පසු දිස් වූයේ එහි සයනයයි. කෙසේ වෙතත් මේ පිළිබඳව හෝටලයට චෝදනා එල්ලවූ අතර හෝටලයේ පිරිස් නව යුවළට චෝදනා කළේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමිනි. එහෙත් හෝටලයට එම වැරැද්දෙන් ගැලවෙන්නට නොහැක. ඒ කාරණා කිහිපයක් නිසාය.
එසේ නොවේනම් එවැනි සිදුරු සහිත දොරවල් තබාගන්නේ ඇයි? එවැනි සිදුරු සහිත දොරක් ඇති කාමරයක් මේ නව යුවළට දුන්නේ ඇයි? එම සිදුරු සයනය වෙතම එල්ලවී තිබුණේ කෙසේ ද යන්නය. ඒ නිසා මේ සිදුවීම් එකක්වත් අහඹුවා විය නොහැක. එය හිතා මත කළ දෙයක් නොවේ නම් එසේ අවදානම් සහිත කාමර පවත්වාගෙන ගියේ ඇයි ද යන්න හෝටලය වගකීම බාරගත යුතුව ඇත. ඒ නිසා කවුරැ හරිද කවුරු වැරදිද යන්න ඉදිරියේ බලාගත හැක.
එම කතාවද පැත්තකින් තබා පොදු කතාවකට දැන් එළඹෙමු.
අවුරුදු 18කට වැඩි ඕනෑම කෙනකුට ඕනෑම අයුරකින් පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් නැත. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේම කියා තීරණ ගත හැක. එසේ තීරණ ගන්නා වුන් ඇතැම් විට නවතින්නේ හෝටල් කාමරයක් තුළය. එය නීතියෙන් වරදක් නැත. එහෙත් සංස්කෘතියෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වන වරදකි. එසේම එය සදාචාරයට පිටින් ගිය ක්‍රියාවක් ලෙස ද සමාජය හඳුන්වති.
එසේ කාමර තුළ පෙම්සුව විඳින බොහෝමයක් දෙනා කෝටිපතියෝ නොවෙති. ඒ නිසාම ඔවුන් තෝරාගන්නේ අඩුම මිල ගණන් සහිත තැන්ය. විශේෂයෙන් සමාජයට නිරාවරණය නොවු තැන්ය. මේ තත්වය තේරුම් ගන්නා ඇතැම් තක්කඩි ව්‍යාපාරිකයෝ ලෑලි කාමර සාදා හෝ ඉතා අඩු මුදලට පෙම්වතුන්ට විකුණති. ඒ බව හලාවත සිට ගාල්ල තෙක් මුහුදු සීමාව තුළත්, එසේම ගම්පහ, කළුතර, නුගේගොඩ, කුරුණෑගල ආදී ප්‍රධාන වශයෙන් ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානයන් තුළත් හොඳ හැටි දැක ගත හැක. අවම පැයකට රුපියල් 500 සිට උපරිමය රුපියල් 1500 දක්වා මිල ගණන් එම කාමර වලට නියම කර ඇත. කිසිඳු ආරක්ෂාවක් නොමැති අවදානමක්ම පමණක් ඇති කාමර ඇති තරම් මෙහි වෙති. කිසිදු පහසුකමක් නොමැති එම කාමර බොහෝ විට ලබාදෙන්නේම දෙවැනි ව්‍යාපාර කටයුත්තක් සඳහාය. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එම කාමර තුළ ඉතා සූක්ෂම ලෙස රහස් කැමරා සවිකර තිබූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. විශේෂයෙන් පොලීසියට කොටුවූ අවස්ථා ද ඇත.
කාමරයේ විදුලි සැපයුම් ලබා දෙන ස්ථාන (ප්ලග්) තුළ, විදුලි පංකා අසල, නැත්නම් විශේෂයෙන් එළියට නොපෙනෙන ස්ථාන තුළ මෙවැනි කැමරා සවිකරනු ඇත. එසේ සවිකරණ කැමරා යොදා ගනිමින් සුක්ෂම ලෙස කාමරය තුළ සිදුවන දේවල් නිරීක්ෂණය කළ හැක. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එවැනි සිද්ධි බැලීම සඳහා ද තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන අවස්ථාව දුන් සිද්ධි මෙරට ආරක්ෂක අංශ වලට පවා දැන ගන්නට හැක. බලා සැනසෙන ඔවුන් බොහෝ විට එම අවස්ථාව උදාකරගන්නේ වැඩි මුදල් ලබාදෙමින්ය. එහෙත් ඒ බව පෙම්වතුන් දන්නේ නැත. එය වීඩියෝ ගත නොකර පෙන්වා පමණක් වැඩේ අවසන් කිරීමට මෙම පිරිස් පුරුදුව සිටිති. මෙවැනි දෑ විශේෂයෙන් මුහුදු ආසන්නයේ පිහිටි කාමර කෑලි තුළ බහුලව සිදුවෙයි.
එසේම කබානා මොඩලයට ලබාදෙන ස්ථාන ද එවැනිම දේ කරති. කුඩා ඉඩ ප්‍රමාණයක ඇඳක් දමා ඇති අතර එය ආවරණය කොට ඇති ලෑලි අතරින් ඕනෑම අයකුට ඇතුළත, සිදුවන දෑ දැක බලාගත හැක. මෙය ලිංගික අසහනයෙන් පෙළෙන බොහෝ දෙනාගේ සෙල්ලමක් වී ඇත. මේ නිසා ඔවුන්ගෙන් වැඩි මුදලක් ගෙන පෙම්වතුන්ගේ හැසිරීම් පෙන්වීම අලුත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එහෙත් මේ බව නොදත් පෙම්වතුන් රිසිසේ නිදහසේ හැසිරෙති. ඇතැම් අවස්ථාවල එසේ ලබාගන්නා වීඩියෝ පට විදෙස් රටවල ඇති අසභ්‍ය වෙබ් අඩවි වලට පවා විකිණීමට අවස්ථාව උදාවනු ඇත. එයට ඩොලර් වලින් මුදල් ලැබෙනු ඇත.
විශේෂයෙන් මේ කාමර සිදුරු තුළින් පෙන්නීමේ ජාවාරමේදි වැඩි ලෙස විදේශිකයන්ට ද අවස්ථාව ලබාදෙන බවට ආරක්ෂ අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙවැනි සිදුවීම් නිසා බොහොමයක් පෙම්වතුන් අන්ත අසරණ වී ඇත. ඒ බව පොලීසියට හෝ පැමිණිල්ලකින් ඉදිරිපත් කිරීමට නොහැකිව ලත වෙති. ඒ සමාජයෙන් එන ගැරහුම් නිසාය. එසේ නම් මෙරට පෙම්වතුන්ට ඇති නිදහස කුමක්ද? වීදියක නතර වී කතා කිරීමට නොහැකි නම්, ප්‍රසිද්ධ ස්ථානයන් වල සිටියදී බැණ එළවීමටත්, උද්‍යානයකට ගිය පසු එහි ආරක්ෂක අංශ විසිල් ගසා ඔවුන්ව ඈත් කරන්නත් එසේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනත් අයකුට මුදලට විකුණන විටත්, කාමරයකට ගිය පසු ඔවුන් වටකොට කැමරා කාච යොමු කරන්නත් ඇති නම් ඔවුන්ගේ ආදරයට ඇති අවදානම ගැන කවර කතාද. ඒ නිසා ඔවුන්ව එළවා දමනවා සේම ඔවුන්ට පෙම්සුව විඳින්නට අයිතියක් රජය තුළින් සකසා දියයුතුව ඇත. ඔවුන් පමණක් නොව විවාහක යුවලකට පවා නිදහසේ අවදානමක් ඇත්නම් ආදරවන්තයන් යායුත්තේ හඳටදැයි අපට ඇසීමට ඇති ප්‍රශ්නයකි.
[rns_reactions]