පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේදී යම් අසාධරණයක් සිදුවී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳව අදාළ නිලධාරින් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කරයි.
එමෙන්ම ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවකු පාසලකට ඇතුළත් කළ හොත් 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළව එම දරුවා එම පාසලින් ඉවත් කිරීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එම නිවේදනයේ දක්වා ඇත.
වත්මන් රජය සියලු කටයුතු විනිවිදභාවයෙන් සිදුකරන බව පැවැසූ අමාත්‍යවරයා එම තොරතුරු බාධාවකින් තොරව මහජනතාවට ලබාදීමටත් තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදුන් බවද හෙතෙම සඳහන් කරයි.
පාසල්වල පළමු වසරට ඇතළත් කරගන්නා සිසුන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම පාසල්වලට නවක සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් අනූව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි. දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට අදාළ ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේ දී ඉල්ලුම්කර ඇති ගණනය, ඊට අදාළව ලබාගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරුද ප්‍රසිද්ධියට පත්කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා එමගින් කියා සිටී.
පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වය පෙන්වන මෙවැනි ක්‍රියා මඟින් තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම මෙන්ම රාජ්‍ය සේවය සාධාරණ මහජන හිතකාමී සේවයක් බවට පත්කරලිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.