ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට (20) පෙරවරු 09.30ට ආරම්භ වන අතර අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට පස්වරු 3.00ට ඇරඹීමට නියමිතය.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙයි.
හෙට පළමු රැස්වීමේ පළමුව සිදු කිරීමට නියමිතව තිබෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා නව කථානායකවරයා පත්කර ගැනීමය. එම ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කරනු ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව හෙට පත් කෙරෙන්නේ මෙරට 11 වැනි කථානායකවරයාය.
පසුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතය. අනතුරුව නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත්කරගැනීමෙන් පසු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවනු ලබයි.
අනතුරුව මෙරට 9 වැනි පාර්ලිමෙන්තුවේ ප්‍රථම සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදු වන්නේ පස්වරු 03.00ටය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි. එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.
අනතුරුව ඇරඹෙන පළමු සභාවාරයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීම සිදු කෙරෙයි. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද හෙට සිදු කිරීමට නියමිතය.
පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

09 වන පාර්ලිමේන්තුවේ වාර්තා
09 වන පාර්ලිමේන්තුවේ සුවිශේෂ ලක්ෂණ රැසක් දැකගත හැකිවන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව,
- 1947දී පළමු පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනිමින් ආණ්ඩුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන, නිදහසින් පසු පළමු අවස්ථාව
- පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් ඇත.
- මෙවර තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් 81 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි.
- නව මැතිසබය නියෝජනය කරන ළාබාලම මන්ත්‍රිවරයා වන්නේ 1994 නොවැම්බර් 09 වැනිදා උපත ලද වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාය.
- කැබිනට් මණ්ඩලයේ ළාබාලතම අමාත්‍යවරයා වන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාය.
- අවුරුදු 25 – 40 අතර වයසේ පසුවන 25 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටීම.
- නව පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය 11%කි.
- මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන වයස අවුරුදු 41-50 කාණ්ඩයට 67 දෙනෙක් ඇතුළත්ය.
- වයස අවුරුදු 51-60 කාණ්ඩයට මන්ත්‍රීවරු ගණන 54 දෙනෙකු ඇතුළත් වේ.
- වයස අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක් ද, අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව 9යකි.
- අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වාසුදේව නානායක්කාර, සී.වී විග්නේශ්වරන් සහ ආර්.සම්පන්දන් එම මන්ත්‍රීවරුන් වේ.
- 2015 මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත්ත ද එය මෙවර 12 දෙනෙකුට සීමාවී ඇති අතර නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%කි.
- මරණ දණ්ඩනය නියම වී සිටින මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉතිහාසයේ පළමු වරටය. ඒ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාය.
සැකසුම – තුෂාර වල්ගම