“50 ගහනකම්වත් දුවාගන්න බැරිනම් ගෙදර යන්න..”- ඇමති දයාසිරි

Spread the love

ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට අධික පිරිසක්‌ වෙත එදින සහතික පත්‍ර ප්‍රදානය කළ අතර සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස්‌ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් ඒ අතර විය.

පුහුණුකරුවන්ගේ ඇති අත්මාර්ථකාමීත්වය මෙරට ක්‍රීඩාව ඇද වැටීමට ප්‍රධාන හේතුවක්‌ බවට පවසන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාවේ ක්‍රීඩාව ඇද වැටීමට ඇති පළවෙනි හේතුව තමයි පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්‌ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබීම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. මේ නිසා තමයි අද විශාල අර්බුදයක්‌ රට තුළ ඇතිවී තිබෙන්නේ.’ යි හෙතෙම එහිදී පවසා සිටියේය.

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිළිබඳව ද ක්‍රීඩා අමාත්‍ය වරයා වැඩි වශයෙන් කතා කිරීම ද විශේෂත්වයක්‌ බවට පත්විය. ‘ක්‍රිකට්‌වල නම් ජාතික කණ්‌ඩායමට පැමිණි පසුයි ශක්‌ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි.

ලංකා කණ්‌ඩායමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදු වෙන්නේ 50 ගහන කොට කකුල අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25ක්‌ ගහන කොට දුවාගන්න බෑ. මෙච්චර කල් ක්‍රිකට්‌වල තිබුණා ක්‍රීඩකයෙක්‌ගෙ කකුලේ ආබාධයක්‌ ඇතිවුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක්‌ ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තිබෙන්නේ. ඒක හොදයි. මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන.

එහෙම ෆිට්‌නස්‌ නැත්නම් ස්‌ටේ්‍රන්ත් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක්‌ නෑ. ජාතික කණ්‌ඩායමට ආවට පස්‌සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අපෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොද ප්ලේයර් කෙනෙක්‌ කියලා. මෙයාගේ මාංශ පේශියක්‌ ගියොත් සෙල්ලම් කරන්න බැරිවෙනවා කියනවා. ඉතිං ක්‍රීඩා කරනවිට පේනවා ටීෂර්ට්‌ එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්‌සු ටිකක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන වෙන රටක්‌ නෑ. කිහිපදෙනයි එහෙම නැතුව ෆිට්‌නස්‌ ස්‌ටේ්‍රන්ත් එක්‌ක ඉන්නේ. මේක කිවුවට පස්‌සේ මට කට්‌ටිය බනින්න පුළුවන්.

කෙනෙක්‌ කියලා තිබුණේ කැච් අත ඇරුනා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුන නිසා තමයි මැච් පැරදුනේ. කැච් එක ගන්න ළගට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්‌සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ.

අද බලන්න බංගලාදේශ කණ්‌ඩායම. එක ක්‍රීඩකයෙක්‌ගෙවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන් ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් සිදුකරන නිසා. නමුත් අපේ කණ්‌ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිව්වේ මේ අයව හමුදා කදවුරකට යවලා මාස 6ක්‌ විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා.’ යි වැඩිදුරටත් පවසා සිටියේය.

[rns_reactions]