88 ,89, බදවා ගත් ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා

88 ,89, බදවා ගත්  ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා
Spread the love

රටේ පවතින උග්‍ර ගුරු හිඟය  තවදුරටත්  වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට‍ විද්‍යාපීඨ  විශ්ව විද්‍යාල බවට පත් කිරීම  කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති.

එම වෘත්තීය සමිතියේ නියෝජිතයින් අද(02) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට ලංකාව පුරා විශාල ගුරු හිඟයක් පවතින අතර  ඒ හේතුවෙන් මෙරට සමස්ත අධ්‍යාපනය  කඩාවැටීමකට ලක් වෙමින් පවතින බවයි.

සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සමිති සංගමයේ විධායක සභික කථිකාචාර්ය ශාමන්ත දෙහිගලගේ  මහතා කියා සිටියේ මේ වන විට ලංකාව පුරා ඇති සියලු විද්‍යාපීඨවල අධ්‍යයන කටයුතු  මෙන්ම ගුරු  සිසුන් බඳවා ගැනීම් සහ ඉගැන්වීම් ද අතරමග නැවතී වසරක් ඉක්මවා තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රජයේ සෞභාග්‍යයේ  දැක්ම යෝජනාව පරිදි විද්‍යාපීඨ විශ්ව විද්‍යාල බවට කඩිනමින් පත්කොට රටේ දරුවන්ගේ හෙට දවස පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක  සභික  කථිකාචාර්ය එස්. එම්.පි . බණ්ඩාර මහතා .

මේ  වන විට රට පුරා උග්‍ර ගුරු හිඟයක් පවතිනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට  ගුරුවරු අටදාහක් විතර  විශ්‍රාම ගන්නවා. අසූ අට අසූ නවය කාලයේ බඳවාගත්ත ගුරුවරුන් තිස් දහසක් විතර මේ වෙද්දි විශ්‍රාම යනවා. එ් විශ්‍රාම යන ගුරුවරුන් වෙනුවට නවක ගුරුවරුන් බිහි නොවීම රටේ බරපතලම අභාග්‍යයක්.

මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ගුරු අධ්‍යාපන  විද්‍යාපීඨ සුරැකීමේ දෙමව්පිය සංගමයේ සභාපති හිටපු  විදුහල්පති  අබේකෝන් හේරත් මහතා සඳහන් කළේ තම දරුවන් මෙන්ම දෙමව්පියන් සියලු දෙනාද විද්‍යාපීඨ ආරම්භ නොකිරීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. එම නිසා පොරොන්දු වූ පරිදි වහාම විද්‍යාපීඨ ආරම්භ කොට  දෙමව්පියන්ට හා දූ දරුවන්ට සාධාරණය ඉටු කරන දෙන ලෙස ඔහු රජයෙන්  ඉල්ලා සිටියි. අනෙකුත් දරුවන් මෙන් අරගලවලට නොඑන නිසා මෙම කෙනෙහෙලිකම් සිදුවෙන බව  පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේ දී  දෙමව්පියන් දීප ව්‍යාප්ත  අරගලයකට සූදානම් වන බව ඔහු පැවසීය.

සටහන හා ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර ආරියදාස