කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාර්යාල නිළධාරිනියන්,සිසුවියන් කතුන්ට ලිංගික හිංසා…!

Spread the love

මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.
 
 කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල සේවිකාවන් මෙන්ම පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් ඇතුළු විශාල කාන්තාවන් පිරිසක්‌ සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළින් අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල ගමන් කරති. කෙසේ හෝ රෑබෝවීමට පෙර තම නිවෙස්‌ බලා යැමට බස්‌රථ තුළ සිටගෙන සිරවී ගමන් කරන ඕනෑම තරාතිරමක කාන්තාවන් හා තරුණියන් මෙම විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන්ගේ තාවකාලික වින්දනයන්ට ගොදුරු වේ.
 
 සෑම දිනකම සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළ තුළ නිකරුණේ රැඳී සිටිමින් දිනයේ අවසන් වරට ධාවනය වන බස්‌රථවලට ගොඩවී තම පහත් ආශාවන් සන්තර්පනය කරගැනීමට මෙම පුද්ගලයන් ලබා ඇත්තේ මනා පුහුණුවකි. බසයේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන මොවුන් බසයේ ඉදිරිපස දොරටුවට ළඟාවනතෙක්‌ කාන්තාවන් හා තරුණියන් කීප දෙනෙකුම තම බාල ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා රහසේ ග්‍රහණයට ලක්‌කර ගන්නා බව පාසල් සිසුවියෝ පවසති.
 
 කළුතර – අළුත්ගම බස්‌රථවල ගමන් ගන්නා කාන්තාවන් අපහසුතාවට පත්කරන විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශ කීපයකම කාන්තාවෝ වගකිවයුතු ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

[rns_reactions]