අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…

අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…
Spread the love

“රැකියාවලින් අඩුම මට්ටමේ රැකියාව වන කොළඹ ගෙවල්වල මෙහෙකාරකමට උයන්න පියන්න වැඩට හොයන්නේ වත්තේ කෙල්ලෝ. වත්ත ඕන වෙලා තියෙන්නේ මොකදට, කොළඹ හතේ නෝනලාගේ ගෙවල් බලාගන්න. ගොඩාක් නගර සභාවල කුණු එකතු කරන්නේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන්නේ වත්තේ අය. වත්තේ අය තියාගෙන ඉන්නේ අඩු වරප්‍රසාද සහිත රැකියාවලට. ඒක සාධාරණ නැහැ. වතුවල නායකයෝ හැදුණා. හැම ආණ්ඩුවකම මේ නායකයෝ හිටියාට ජනතාවගේ ප්‍රශ්න විසඳුණේ නැහැ. හැබැයි ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුණා. තොන්ඩමන් මහත්තයාගේ මනෝගනේෂන් මහත්තයාගේ දිගම්බරම් මහත්තයාගේ ප්‍රශ්න විසඳුණා. හැබැයි එයාලගේ දරුවෝ යනවාද ගෙවල්වල වැඩට. නැහැ. ඒ ගොල්ලෝ නගර සභාවේ වැඩ නැහැ. එයාලගේ ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ. හැබැයි ජනතාවගේ ප්‍රශ්න එක තැනමයි. කුඩා කාමරයක ජීවත් වෙනවා. වැසිකිළි පද්ධති නැහැ. දරුවන්ට පාසලක් නැහැ. හරියට රස්සාවක් නැහැ. වැඩිපුරම වත්තේ ආහාර මොනවාද? පිටි ගොඩක්. ඒ අයට ගැස්ට්‍රයිටිස්. රොටි කනවා. බුලත් විට කනවා. ඒවා තමයි කෑම. කාන්තාවන් ලංකාවේ වැඩියෙන්ම අරක්කු බොන්නේ වත්තේ. ඇයි? ජීවිතේ ප්‍රශ්න වැඩි නිසා. හවසට චිත්‍රපට බලන්න යන්නද? නාට්‍යයක් බලන්න යන්නද?, විනෝද ගමන් යන්නද? නැහැ. ඒ නිසා කාලක් ගහල එනවා. දැන් හැමදේම වෙනස් වෙලා. ඒ නිසා හරබර සාකච්ඡා අපේ මාධ්‍යවල යනවා අඩුයි. ටී.වී. සංවාද යනවා. හොඳ සාකච්ඡාවක් යනකොට විවේක කාලය හම්බවෙනවා. වෙළෙඳ දැන්වීම් දාන්න. එතකොට නිවේදකයා කියනවා අද ටිකක් රණ්ඩුව මදි වගේ. දෙන්නා ටිකක් ඇරගන්න. නැත්තම් කට්ටිය නිදාගන්නවාලු.
මාධ්‍ය ගැන හිතුවොත් බැඳුම්කර කොමිසමේ වාර්තාව පසුගිය 30 වනදා ජනාධිපතිට භාර දුන්නා. අපේ කාලයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් වාර්තාවක් ඒ. ඒ කොමිසම සඳහා වෙන් කළේ  මහජනයාගේ මුදල්. ඒ පරීක්ෂාවට භාජනය කළේ මහජනයාගේ මුදල් හොරකමක් ගැන. මහජනයාගේ මුදල් වියදම් කරලා මහජනයාගේ මුදල් හොරකම ගැන පරීක්ෂාව භාජනයට ලක් කළා. එතකොට මහජනයාට අයිතියක් තියෙනවා, ඒ වාර්තාවේ මොකක්ද තියන්නේ කියලා දැන ගන්න. ඒ නිසා අපි බලකරලා කියනවා ඒ වාර්තාව සමාජයට ඉදිරිපත් කරන්න.”

යයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටගල ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් හඳුන්වාදීම සඳහා හැටන් කොටගල ඩෙරික්කෙලයාර් වතුයායේ පැවැති ජන හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි ස්වරයෙන් පැවසූහ.