ශ්රී ලංකා පොදුජන පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් පසුගිය 17 වැනි දින සවස 2.00 සිට රාත්රි 8.00 දක්වා වරල්ල පැලවත්ත ප්රදේශයේ පුද්ගලික ඉඩමක ඡන්ද ප්රචාරක රැස්වීමක් පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්රය ලබා ගැනීම වෙනුවෙන් ඉඩමේ හිමිකරුගේ කැමැත්ත සදහන් කර ලිපියක් ජනවාරි මස 5 වැනිදා මොරවක පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණු අතර නැවත පසු දිනක ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ අදාල ප්රචාරක රැස්වීම සමග සංගීත ප්රසංගයක්ද පැවැත්වීම සදහා සවස 2.00 සිට රාත්රි 10.00 වන තෙක් අවසරය ඉල්ලා තිබේ. සංගීත ප්රසංගයක් පැවැත්වීම සදහා ඉඩමේ හිමිකරුගෙන් අවසර ලිපියක් රැගෙන එන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙන අතර පසුගිය 12 වැනිදා ඔහු එම ලිපියද ඉදිරිපත් කර ඇති නමුත් අදාල ලිපි දෙකේ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට බාර කෙරිණි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී ශබ්ද විකාශන බලපත්රය ලබා ගැනීම සදහා මොරවක පොලීසිය වෙත ලබා දුන් දෙවැනි ලිපියේ ඉඩමේ හිමිකරු ලෙස සැකකාර අපේක්ෂකයාම අත්සන යොදා ඇති බව හෙළිවී ඇති අතර ඉඩමේ හිමිකරු ද එය තම අත්සන නොවන බවට පොලීසිය වෙත ප්රකාශයක් ලබා දී තිබේ.
ඒ අනුව අත්සන හොරට යොදා කූට ලේඛනයක් සාදා එය සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරිමේ වරදට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් කොටපොළ ප්රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු වන ඉන්දික කුමාර විජේසිංහ හෙට (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරවක වැඩබලන මහේස්ත්රාත් අජිත් අබේසේකර මහතා නියෝග කළේය.

