රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..
Spread the love

ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමග මූල්‍ය ලාභ මත පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතිශය ජනප්‍රියත්වයට පත්වූවා. ක්‍රිකට් ක්‍රීඩාවක් ආගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ඇරඹෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව වැඩියෙන්ම මුදල් හුවමාරු වන ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙනවා.

ක්‍රීඩකයන්ට වැඩිම මුදලක් ගෙවනා තරගාවලිය මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් විශාලතම ලාභයක් හිමි කර ගන්නා තරගාවලිය වන්නේද ඉන්දියානු ප්‍රිමීයර් ලීග් තරගාවලියයි. එම නිසාම බොහො විදෙස් ක්‍රීඩකයන් සිය මවුබිමට ක්‍රීඩා කරන තරග අතපසු කරමින් ඉන්දියානු ප්‍රිමීයර් ලීගයට ක්‍රීඩා කරන අයුරු පවා පසුගිය කාලයේ දැකගත හැකිවුනා. මේ අතර 2018 වසරට අදාල ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රීඩක වෙන්දේසීය පසුගිය දින දෙකෙහි (27, 28) පැවැත්වුනා.

මෙවර තරගාවලි වෙන්දේසියේ අතිශය කැපි පෙනෙන සිදුවීමක් වූයේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය ආරම්භයේ පටන් අඛණ්ඩව එකම කණ්ඩායමක් නියෝජනය කළ එකම විදෙස් ක්‍රීඩකයාද වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් ලබා නොගැනීමයි. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන්ම ක්‍රීඩා කළ , ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ප්‍රධානම වෙළද සන්නාමයක් වූ ලසිත් මාලිංග මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇත.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා පමණක් නොව සාර්ථකම ක්‍රීඩකයා ලෙසද විචාරකයන් විසින් හදුන්වන්නේ ලසිත් මාලිංගයි. මෙලෙසින් ලසිත් මාලිංග අලෙවි නොවෙද්දි අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ පළමු නේපාල ක්‍රීඩකයා ලෙස දකුණත් පාදඟ පන්දු යවන සන්දීප් ලැමිච්චේන්ගේ නම සටහන් වන අතර රෂිඩ් කාන්, මුජිබ් සද්රාන් හා මොහොමඩ් නාබි යන ඇෆ්ගන්ස්තාන් ක්‍රීඩකයෝ තිදෙනෙක්ම අලෙවි වීමද විශේෂත්වයකි.

ලසිත් මාලිංගගේ අයි.පී.එල් වියෝව පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වලද කතාබහට ලක්වූ අතර එහිදි ඇතැමෙක් ප්‍රකාශ කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෞරවනීය සමුගැනීමක් ලැබෙන්නේ මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී පමණක් බවය.