2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
Spread the love

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පළාත් පාලන ආයතන 340ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙනවා. 

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර  ඡන්දය ප‍්‍රකාශ කළයුතු ආකාරය පිළිබදවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය  කරුණු පැහැදිලි කළා. එහිදී පැහැදිළි කෙරුණේ ඡන්ද පොළේදී එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන බවයි. එහි සඳහන් වන්නේ තරග කරන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ සළකුණු වන අතර ඡන්දය දීමේදී ඔබ කැමැති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ ඇති හිස් කොටුවේ එකම එක කතිරයක් (x) පමණක් යෙදිය යුතු බවද සඳහන් කෙරුණා.

කිසිඳු බලපෑමකට යටත් නොවී තම අභිමතය පරිදි ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති වැඩි දුරටත් සඳහන් කළේ.

පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන 7.00 ට ආරම්භ වී පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි.

නාමයෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා පමණක් අද ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැහැ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග වදින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 57, 252 ක්.