ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වූ විගස පොලිස්පතිට වෙන්න යන දේ මෙන්න….

ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වූ විගස පොලිස්පතිට වෙන්න යන දේ මෙන්න….
Spread the love

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස් වන බව පූජිත් ජයසුන්දර මහතා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඉහළ පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත් පූජිත් ජයසුන්දර පොලිස්පති තනතුරින් ඉවත් කරවා ගැනීමට ඇති එකම ක්‍රමය එය බවත් ය.

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 20% තරම් පහළ බැස ඇත.
 

සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර ජනාධිපතිවරයා ඔහුව කැඳවා “ඔන්න මම තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. ඒ මොහොතේ සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ සර්, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පැයක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර සිදුව ඇති අතර තනතුර පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පාර්ශ්වයෙන් කටයුතු සිදු කළ ද දැන් වන විට යළි වැනෙන සුළු ස්වභාවයකට පත්ව සිටී.

සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.

පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇත. මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි.

මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.