අැත්තටම මැතිවරණය මෙහෙයවුයේ කවුද? කිපුණු දුමින්දෙගන් පක්ෂ ප්‍රබලයන්ට දැඩි ප්‍රහාරයක්…

අැත්තටම මැතිවරණය මෙහෙයවුයේ කවුද? කිපුණු දුමින්දෙගන් පක්ෂ ප්‍රබලයන්ට දැඩි ප්‍රහාරයක්…
Spread the love

පළාත් පාලන මැතිවරණයේ පරාජයේ සියළු වගකීම තමන් වෙත පවරා මාධ්‍යයට ඒ පිළිබඳව අදහස් දක්වන අය කළ යුත්තේ පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේදී එය පිළිබඳව විවෘතව කතා කිරීම බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුම්න්ද දිසානායක පවසා සිටිනවා.

ඊයේ(25) කැබිනට සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සමහර මන්ත්‍රීවරු කියනවා මේක විකට රංගනයක් කියලා?
“ඒක ඒගොල්ලන්ගෙන් තමා අහන්න ඕනේ මොකක්ද විකට රංගනය කියලා.”

ඔබතුමාගේ අමාත්‍යාංශය ඉදිරියේදී වෙනස්වීමක් සිද්ධ වෙනවාද?
“නෑ. අපි දන්නේ නෑ. මං හිතන්නේ අදත් මෙතැනට එනකන් කවුරුවත් දන්නේ නෑ.”

ඔබ පක්ෂයේ මහ ලේකම්. ජනාධිපතිතුමාගේ ළගින්ම ඉන්නවානේ?
“ජනාධිපතිතුමාට තමයි මේකේ බලය තියෙන්නේ. ඉතින් අපි එතුමාට නිදහස ලබා දෙමු.”

පක්ෂයේ ඇතැම් ජේෂඨයින් ඔබතුමාව මහලේකම් ධූරයෙන් නෙරපන්න ඇතුළෙන් කටයුතු කරනව කියලා විවිධ මාධ්‍ය වාර්තා කළා?

“පත්තරවලට, ටී.වී වලට එහෙමත් නැත්නම් රේඩියෝවලට අදහස් දක්වන්නේ නැතුව, අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් තියෙනවා. ඉතින් මධ්‍යම කාරක සභාවේ කාගෙද වැරැද්ද?කාගෙද හොද දේ? කවුද මේ මැතිවරණය මෙහෙයෙව්වේ? මේ සියල්ලම සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මේ පළාත් පාලන මැතිවරණය ප්‍රධාන වශයෙන් මෙහෙයවූයේ මම නෙවෙයි. මැතිවරණය මෙහෙයවන්න කමිටු කිහිපයක තිබුණා. මාධ්‍ය කමිටුවේ හිටියා අනුර යාපා ඇමතිතුමයි, තිලංග සුමතිපාල ඇමතිතුමයි. ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ සභාපති හිටියෙ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා. මම අනුරාධපුරේ හිටියේ, අපේ සන්ධාන ලේකම් හම්බන්තොට. අපි වෙනම කමිටුවක් හදලා,වෙනම කාර්යාලයක් හදලා, වෙනම දුරකථන ලබාදීලා සියලු බලතල දීලා මේ මැතිවරණය මෙහෙයෙව්වේ සන්ධාන ලේකම්වත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ලේකම්වත් නෙවෙයි.සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා තමයි මේ සියලු දේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ, සියලු දේ මෙහෙයවූයේ. පත්තරේ,ටීවී එකේ ඇඩ්වටීස්මන්ට් දාන එකේ ඉදන්, ගමට කොළ යවන එකේ ඉදන් කලේ අනුර යාපා ඇමතිතුමයි, තිලංග සුමතිපාල ඇමතිතුමයි. මේවගේ යම් වැරැද්දක් තියෙනවා නම් ලේකම්වරයා විදියට මං නිළ වශයෙන් භාරගන්න සූදානම්. සියලුම කමිටු වල අයත් තමන්ගේ කොටස භාර ගන්න ඕනේ.මේකෙන් පැනලා යන්න බෑ. කොන්ද කෙලින් තියාගෙන, තැන් තැන් වල දොඩවන්නේ නැතුව මධ්‍යම කාරක සභාවේ අපි විවෘතව කතා කරමු. මොකක්ද අපෙන් වෙච්ච අඩුපාඩුව. මොකක්ද අපෙන් වෙච්ච වැරැද්ද. මේ සේරම අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා අපිට.” මන්ත්‍රිවරයා සිය අදහස් එලෙස පළ කර සිටියා.