මුතුරාජවෙල අභයභූමිය තුළ ගොඩකිරීම වැලිහෑරීම සහ කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබියදී ප්‍රබල දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ අනුදැනුම මත නීතිවිරෝධී ලෙස එය සිදුවෙමින් පවතී.
රටේ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීමෙන් මෙම තෙත් බිම මහා පරිමාණයෙන් ගොඩකරමින් සිටින බව කියති. මේ වනවිටත් අක්කර සීය ඉක්මවා තෙත් බිම ගොඩකර ඇත්තේ ගොවිජන සේවා පනත සහ ලෝක රැම්සා සම්මුතියේ නීති උල්ලංඝනය කරමින් බව මුතුරාජවෙල අභයභූමිය සුරුකීමේ සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ තෙත් බිම් උරුමයක් වන මුතුරාජවෙල විනාශ කිරීමේ අවදානමට කොළඹ නගර සභාව, නාගරික කොමසාරිස්, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, සහකාර ප්‍රාදේශීය ලේකම් වත්තල, පතල් හා කැණීම් කාර්යාංශය හා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහ එහි ප්‍රධානීන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් වගකිව යුතු බවට මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරන්නේ 1996 අංක 947/13 දරන රජයේ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 1284.95 ක් සහිත තෙත් බිම අභ්‍යභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී මෙම ගොඩකිරීමේ ජාවාරම සිදුකරගෙන යන බවය.
මෙම අනවසර ඉඩම් ගොඩකිරීමේ ජාවාරම පසු පස ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයකු මෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු ද සිටින බව ප්‍රසිද්ධය. ඔවුන් තෙත් බිම කෙරෙහි කෑදර කමෙන් එම භූමියට කූඨ ලේඛන සකසමින් ඉඩම් අත්පත් කරගැනීමේ නිරතව සිටින්නේ මීට වසර දෙකක් පමණ ඉහත සිට බවද සඳහන්ය.
මෙහිදී ඔවුන් පළමු පියවර වශයෙන් නවීන තාක්ෂණය මගින් ගුවන් ඡායාරෑප ලබාගෙන එමගින් හඳුනාගත් ප්‍රදේශවල හිමිකරුවන් සතු ඉඩම් කොටස් නොවටිනා මිලකට මිලදී ගෙන තිබෙන බවද පැහැදිලිය. මේ අතර මුතුරාජවෙල අභයභූමියට අයත් බොහෝ වගුරැබිම් ගොඩකර තිබෙන අතර කටුනායක අධිවේගී මාර්ගය අසල වම් මායිමේ පිහිටි පැරණි ඕලන්ද ඇළ රොන්මඩ ඉවත් කරන බව පෙන්වමින් අසීමිතව හාරා වැලිගොඩට ගෙන ඊට නුදුරැ බිම පුරවන බව පෙනෙන්නට තිබේ.
අභයභූමිය සුරුකීමේ සංවිධානය චෝදනා කරන්නේ ඕලන්ද ඇළ හෑරීම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගය ගිලා බැසීමේ අවදානමක් ද පවතින බවය.
ඇළ හෑරීම හේතුවෙන් අධිවේගී මාර්ගය සඳහා පිරවූ පස් බුරුල් වී ඇළට සේදීයාමක් සිදුවන බවත් ඇළ වම් ඉවුර මීටර් ගණනක් පුරවමින් පළල් පිවිසුම් මාර්ගයක් ගොඩනගමින් ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ප්‍රදේශයේ ජනතාව සතුව පැවැති වගුරු ඉඩම් කට්ටි ක්‍රමයෙන් මිලට ගෙන ඇති ව්‍යාපාරිකයා මේ වනවිටත් අක්කර 600ක පමණ භූමියක් සතුකරගෙන ඇතැයි වාර්තා වේ.
මේ ආකාරයට ඉඩම් ගොඩකිරීමට අපේක්ෂාවෙන් සිටියදී මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මහා ව්‍යසානයක් සිදුවූයේ 2017 අප්‍රේල් මාසයේදීය.
ඒ අවස්ථාවේදී කොළඹ එකතු වන කුණු බැහැරකිරීමට ස්ථානයක් නොවීය. බොරදියේ මාළු බාන්න සිතූ ව්‍යාපාරිකයා බොහෝම සද්භාවයෙන් පෙනී සිට රජයට කසළ බැහැර කිරීම සඳහා සිය ඉඩම ලබාදෙන්නට පියවර ගත්තේය.
ඒ නීත්‍යානුකූල ඉඩමක් නොව මුතුරාජවෙල අනවසරයෙන් තද කරගෙන සිටි භූමියයි. එමගින් ඔවුන් අපේක්ෂා කළේ කසළ පුරවා රජය සහ පෞද්ගලික අංශය සතු කුඹුරු ඉඩම් ගොඩකරවා ගැනීමට බව මුතුරාජවෙල සුරැකීම් සංවිධානය පවසයි.
මෙහිදී එම සංවිධානය අතුළු ගම්වාසීන් විරුද්ධ වෙද්දී ඔවුන්ගේ බලපෑම් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබූ බවත් එහි ප්‍රධානීන්ට ද සිදුවෙන ව්‍යසනය වැටහී තිබූ බවත් කියයි.
ඊට එරෙහිව පියවර ගත් මුතුරාජවෙල පරිසරය සුරුකීමේ සංවිධානය නියෝජනය කරන පූජ්‍ය පක්ෂය, විද්වතුන්, සමිති සමාගම්වල ප්‍රදේශවාසීන් 35 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙර කී රාජ්‍ය ආයතන 11ක් වගඋත්තරකරැවන් ලෙස දක්වමින් ශ්‍රේෂ්ඨධිකරණ නඩුවක් ගොනු කර තිබේ. මෙහි නඩුවාරයක් ලබන 12 දින විභාගයට ගැනීමට නියමිතව ඇතැයිද අභයභූමිය සුරැකීමේ සංවිධානය කියයි.
කෙසේ වෙතත් උසාවි නියෝගය මෙන්ම ගොවිජන සේවා පනත, ලෝක රැම්සා වාර්තාවේ නීති ඇතුළු අභයභූමියට අදාළ සෑම නීතියක්ම උල්ලංඝනය කරමින් ජාවාරම පසුපස සිටින ප්‍රබල ව්‍යාපාරිකයා තමාට සහාය දෙන රාජ්‍ය නිලධාරීන් අතකොලු කොටගෙන වගුරු බිම ගොඩකරමින් සිටී. මේ අතර වාර්තා වන්නේ මුතුරාජවෙල අභයභූමියේ ඉඩම් ගොඩකිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට රජයේ ගාස්තුව වශයෙන් රුපියල් තුන්කෝටි විස්පන් ලක්ෂ පනස් එක් දහසක් ගෙවා ඇති බවය. එය පර්චස් 65102ක් ගොඩකිරීම සඳහා වන අතර පර්චසයකට මිල නියමව ඇත්තේ රුපියල් 500 බැගින් බවද වාර්තා වේ. මෙවැනි අකටයුතුකම් සඳහා රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් හිස නොනමන නිසා ඔවුන්ට හා මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයෙන් පරිසරවේදීන්ට මරණ තර්ජන පවා එල්ලවී ඇතැයි කියති.
මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ඕලන්ද ඇළ බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ගැඹුරට හාරා වැලි ඉවත් කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රොන් මඩ ඉවත් කරනා බව දක්වමිනි. මේ ආකාරයට එම ස්ථානවල අඩි 30 – 40 තරම් පළළ පිවිසුම් මාර්ග සකසා ඇති බවත් විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා කම්බි වැටවල් ගස් වෙන්කර ඇති බවත් මුතුරාජවෙල සුරුකීමේ සංවිධානය චෝදනා කරයි.