ඊයේ දිනයේදී අලුත්ගමගේ මහතා අධිකරණයට කැඳවා තිබීම හේතුවෙන්ඔහුට මන්ත්රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට තිබූ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(06දා)පැවසීය .
මීට පෙර කථානායකවරයා හමුවී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව අවස්ථා දෙකකදී සාකච්ඡා කර තිබෙන බවත්,කථානායකවරයා අදාළ බලධාරීන්ට මේ බව දන්වා තිබූ බවත් ගුණවර්ධන මහතා ප්රකාශ කල අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදුවූ ආකාරයට ඉදිරියේදී අනෙකුත් මන්ත්රීවරුන්ටද මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බවත්,කථානායකවරයා මේ සඳහා මැදිහත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මේ සතිය පුරා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණයට හමුවට යෑමට සිදුව තිබෙන බවත්,මෙය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරයෙකුගේ ප්රශ්නයක් පමණක් සිතා කටයුතු නොකළයුතු අතර, මෙය පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 225 දෙනාටම එල්ලවන බරපතළ ප්රශ්නයක් ලෙස සැලකිය යුතුබවත්ය.
වාසුදේව නානායක්කාර මන්ත්රීවරයා මෙහිදී සඳහන් කළේ, ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට සහභාගි වීම සඳහා මන්ත්රීවරයෙකු පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්,එසේ තිබියදී නඩුව අසන බවට විනිසුරුවරයා පවසා තිබෙන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, තමන් ඒ පිළිබඳ සොයා බලන බවයි.

