සෞදියේ දී මානසික රෝගියකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගෘහ සේවිකා ප්‍රියංකාගේ කඳුළු කතාව

සෞදියේ දී මානසික රෝගියකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගෘහ සේවිකා ප්‍රියංකාගේ කඳුළු කතාව
Spread the love

දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් විදේශගතවන කාන්තාවකට සෞදි අරාබියේ දී වෙඩි තැබීමකට ලක්‌ ව අවාසනාවන්ත ලෙස මියයැමට සිදුව තිබේ.

එම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වඳුරඹ කටඹුරාව අබේසුන්දර වත්තේ පදිංචි 38 හැවිරිදි තිදරු මවක්වන ප්‍රියංකා ජයසේකර ය. මැද පෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටිය දී නිවසේ සිටි මානසික රෝගියකු විසින් ප්‍රියංකාට වෙඩිතබා එම පුද්ගලයා ද වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ඉකුත් 13 වැනි දින ප්‍රියංකාගේ පවුලේ අය වෙත දැනගන්නට ලැබී ඇත.

මියගිය ප්‍රියංකා විවාහ වී සිටියේ එල්. ජී. උපුල් (44) සමග ය. ඔවුන් විවාහ වූයේ මීට වසර විස්‌සකට පමණ ඉහත දී ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. වැඩිමලා චමිලා ආසිරි ය. 21 හැවිරිදි ඇය මේ වනවිට විවාහ වී සිටින්නී ය. දෙවැනි දියණිය අවිශ්කා හේමාලි 12‌ හැවිරිදි ය. තුන්වැනි දියණිය නෙත්මි නවෝද්‍යා 08 හැවිරිදි වියේ පසුවන අතර ඇය අසනීප තත්ත්වයේ පසු වේ.

ප්‍රියංකාගේ ඥාති දියණියක වන එම්. ජී. නදීකා ලක්‌මාලි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”මේ දරුවා රෝග තත්ත්වයකින් පෙළෙනවා. අගහිඟකම් නිසාමයි ප්‍රියංකා නැන්දා රට ගියේ. එයා දැන් රට ගිහින් මාස නවයක්‌ වෙනවා. මීට කලින් අවස්‌ථා ගණනාවක දී ම එයා මැදපෙරදිග සේවයේ නියුතු වුණු කෙනෙක්‌. දැන් අපට දන්වලා තියෙනවා එයාට වැඩකළ නිවසේ සිටි මානසික රෝගී තැනැත්තෙක්‌ වෙඩි තියලා ඔහුත් සියදිවි නසාගෙන කියලා. නැන්දා රට ගියාට පස්‌සේ කතා කළේ නෑ. ඉන්පසුව මේ ගැන විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට දැන්වූවාම මසකට වතාවක්‌ කතා කරන්න හදලා දීලා තිබුණා. නැන්දා කතා කළාට කවදාවත් ගෙදර මානසික රෝගියෙක්‌ ඉන්නවා කියලා තිබුණේ නෑ.

කොහොම වුණත් මේ ගැන විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම උපුල් මාමා කළුගල් කොරියක වැඩකරන එක තමයි රස්‌සාවට කරන්නේ. එයාගේ අත උඩට කළුගලක්‌ ඇවිත් අතේ ඇඟිලි කැඩිලා අනතුරකට ලක්‌වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට බර වැඩක්‌ කරගන්න අපහසුයි. දැන් ඉතින් මේ දරුවන් වෙනුවෙන් හවුහරණක්‌ සලසන්න පියවර ගන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් සඳහන් කළා ය.

ප්‍රියංකා මුලින්ම විදේශගතව ඇත්තේ මීට වසර 15කට පමණ පෙර ය. ඇය නැවත වසර කිහිපයකින් මෙරටට පැමිණෙන අතර යළිත් දෙවැනි වතාවට ද විදේශගත ව ඇති ඇය මීට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබුණා ය.

එහෙත් අතක ආබාධයකින් පෙළෙන සැමියාත් හදවතේ සිදුරක්‌ හේතුවෙන් පීඩාවට ලක්‌ ව අසනීප තත්ත්වයේ පසුවන නෙත්මි නවෝද්‍යා දියණියත් වෙනුවෙන් නැවතත් විදේශගත වන්නට ප්‍රියංකා තීරණය කර තිබේ.

මේ අනුව නැවතත් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ප්‍රියංකා සේවයට යන්නේ මීට මාස නවයකට පමණ පෙර ය.

මෙවර විදේශගත වූ ප්‍රියංකා වෙන දා මෙන් සැමියාට කතාකර නැත. මේ නිසා ඇය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඇගේ සැමියා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සහාය ද ලබාගෙන තිබිණ.

කෙසේ වෙතත් වරින් වර නිවසට කතා කළ ද ප්‍රියංකා එම නිවසේ මානසික රෝගියකු සිටින බව හෝ තමන්ට කරදරයක්‌ පවතින බව කිසිදු අවස්‌ථාවක පවසා තිබුණේ නැත.

කෙසේ වෙතත් මීට දින තුනකට පමණ පෙර ප්‍රියංකාගේ සැමියාගේ දුරකතනයට විදේශ දුරකතනයකින් ඇමතුමක්‌ ලැබී තිබිණ. තමන්ගේ බිරිය කතා කරනවා යෑයි සිතූ උපුල් නෝනා ඔයා හොඳින් දැයි විමසා තිබුණේ ය.

නමුත් කතාකර තිබුණේ ප්‍රියංකා නොව වෙනත් අයෙකි. එම දුරකතන ඇමතුම මගින් ඉල්ලා තිබුණේ ප්‍රියංකා ගෙදරට කතා නොකරන බවට සඳහන් කර දමනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස් ‌කරගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඉකුත් 13 වැනි දා පස්‌වරුව වනවිට ප්‍රියංකාගේ සැමියා වෙත ලැබුණේ අවාසනාවන්ත තොරතුරකි. ඒ තමනුත් දරුවනුත් වෙනුවෙන් විදේශගත වූ සිය ආදරණීය බිරිය මානසික රෝගියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ගොස්‌ තිබුණ වග ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක් ‌වූ ප්‍රියංකාගේ සැමියා පවසන්නේ මෙවැනි අදහසකි..,

“නෝනා රට ගියේ මීට මාස නවයකට පමණ පෙරයි. මාස දෙකක්‌ පමණ ලියුම් එනකං බලා සිටියා ලියුම් ආවේ නෑ.

මා ඒජන්සියෙන් ඇහුවම හෙට කතාකරයි කිය කිය බොරු කීවා. පස්‌සේ මම විදේශ සේවා එකට ගියා. පස්‌සේ විදේශ සේවා එකෙන් ඒජන්සියේ අය ගෙන්වලා ප්‍රශ්නය විසඳලා දුන්නා. ඒ පාර මාසෙකට සැරයක්‌ වගේ කතා කළා. ගෙදරින් කරදරයක්‌ නැතෙයි කිව්වා පඩිත් එව්වා. දැන් මාස තුනකින් විතර පඩි නෑ.

අවසාන වරට කතා කළේ ගිය මාසේ 10 වැනි දා. මීට දින තුනකට පමණ පෙර විදේශ අංකයකින් දුරකතන ඇමතුමක්‌ ආවා. මට කීවා විදේශ සේවා එකේ පැමිණිල්ලක්‌ දාලා තියෙනවා නේද ඒක ඉවත් කරගන්න කියලා. මම කීවා ඒක අයින් කරන්න දෙයක්‌ නෑ, ඒ මැඩම් ඒක අයින් කළයි කියලා. ඊයේ (14) අපේ ඥති සහෝදරයෙක්‌ තමයි ඇවිත් කිව්වේ මේ වගේ සිද්ධියක්‌ වෙලා කියලා”.

කෙසේ වෙතත් විදේශගත වූ සිය බිරියගේ දේහය කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙසත් මෙන්ම අසරණ වූ තමන්ටත් දරුවන්ටත් හව්හරණක්‌ සලසන ලෙස ප්‍රියංකාගේ සැමියා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ ද කළේ ය.