මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..
Spread the love

නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. 
 
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද අද ෂකීබ් ක්‍රීඩා කළහොත් පසුගිය කාලයේ බංගලාදේශ මාද්‍ය සහ ක්‍රීඩකයන් නැගු අදෝනාවකට පිළිතුරක් ලබා දෙන්නට අවසථාවක් එළඹෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේදී තරඟ ජයගන්නා විට බංගලි මාද්‍යයන් සහ ප්‍රවීණ ක්‍රීඩකයන් පැවසුවේ ෂකීබ් නැති වීමේ පාඩුව තරඟ පරාජයට හේතුවක් වූ බවය,දැන් ෂකීබ් කණ්ඩායමට පැමිණ ඇති නිසා ඔහු සිටින බංගලාදේශ  කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාවට බංගලියන්ගේ අතීත අදෝනා වලට මනා පිළිතුරක් ලබා දෙන්නට හැකි වනු ඇත.
 
 සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව, ‘අපිට කිසිම පීඩනයක්‌ නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා.‘ යනුවෙන් පැවසීය.
 
 කණ්‌ඩායමේ සංයුතිය වෙනසක්‌ විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සමග පැවැති තරගයේදී තදින් දැනුණි. ‘අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරන්නෙ තණ තීරුවට අනුව. මේ වගේ තණතීරුවක හොඳ ක්‍රිකට්‌ ගහන්න පුළුවන්. පන්දු යවන්නන්ව උනත් යොදවන්නෙ තණතීරුවට අනුව. වේග පන්දු යවන්නන්ට මේ තණතීරුවකදී යමක්‌ කළ හැකියි. ඒ වගේම පසුගිය කාලයේ අපි වැඩිය ලකුණු ගැහුව්වෙත් නැහැ කඩුලු ගත්තෙත් නැහැ. ඒ වගේම තමයි දිනුවෙත් නැහැ. නමුත් මේ තණතීරුවේදී ඒ සියල්ලම වෙනස්‌ වෙලා තියෙනවා.’ යෑයි හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.
 
 කාසියේ වාසිය තරගයේ තීරණයකට කිසිදු බලපෑමක්‌ නොමැති බව ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ මතය වී තිබේ. ‘කාසියේ දෙපැත්තෙ වාසිය සහ අවාසිය කාට එයිද කියන්න බැහැ. දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්‌තියි. කාටවත් කියන්න බැහැ අන්තිමට ගහපු අය දිනනවා කියලා. බංග්ලාදේශය සහ ඉන්දියාව තරගය දිනුවෙ මුලින් ගහපු අය. ඒ නිසා කාසියේ වාසිය හිතලා තරග දිනන්න බැහැ.’
 
 ලසිත් මාලිංග වැනි පන්දු යවන්නකු මෙවැනි තරගයකට ඉතාමත් වැදගත්ය. නමුත් ඔහු සංචිතයේ නොමැත. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවා පවසා සිටියේ, ‘මාලිංග කියන්නෙ හොඳ පන්දු යවන්නෙක්‌ තමයි. නමුත් ඔහු මේ කණ්‌ඩායමේ නැහැ. කණ්‌ඩායම නම් කළාට පස්‌සෙ ආයිත් ක්‍රීඩකයෙක්‌ට එන්න පුළුවන් ඉන්න කෙනෙක්‌ව ආබාධයකට ලක්‌ වුණොත් පමණයි‘ යනුවෙනි.
 
අද තරගයේදී ධනංජය ද සිල්වාට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවීමේ අවස්‌ථාවක්‌ තිබුණද ඒ පිළිබඳව ඊයේ වනතුරුත් ශ්‍රී ලංකා පුහුණුකරු ඇතුළු කාර්ය මණ්‌ඩලය දෙගිඩියාවෙන් පසුවන අයුරක්‌ දිස්‌විය. අවසන් මහා තරග බලාපොරොත්තු ඇතිව බංග්ලාදේශ කළමනාකාරිත්වය ඔවුන්ගේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්වද කණ්‌ඩායමට කැඳවා තිබේ. 

ඒ අනුව අද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායම.
1 තමිම් ඉක්බාල්, 2 සෞම්‍ය සාකර්, 3 ලින්ටන් ඩස්, 4 මුෂ්ෆිකර් රාහුම් (wk), 5 මහමුදුල්ලා, 6 ෂකීබ් අල් හසන් (නායක ), 7 සබීර් රහ්මන්, 8 මෙහෙඩි හසන්, 9 මුස්තාෆිසර් රහ්මන්, 10 රුබෙල්ල් හොසේන්, 11 නසිමුල් ඉස්ලාම්

අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේද බොහෝ විට වෙනස්කමක් සිදු විය හැකි අතර පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ධනංජය සිල්වා කණ්ඩායමට පැමිණිය හැකි අතර ඔහු පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයෙකු නිසා බංගලාදේශ වමත් පිතිකරුවන් ඉලක්ක කරමින් ඔවුන් පාලනය කරන්නට ද ඔහුට අවස්තාවක් ඇත.

මීට අමතරව තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක අංශයක් වන වේගපන්දු යැවීමේ බලකායට ද ඉසුරු උදාන පැමිණෙන්නේ නම් වමත් පන්දු යවන්නෙකු ලෙස පන්දු බලකායට ඔහුට විවිදත්වයක් එකතු කල හැකි වනු ඇත.

නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීරගෙන් අපේක්ෂා කල දක්ෂතා අපට දැකගන්නට නොලැබුන අතර එසේ වුව හොත් සුරංග ලක්මාල් පසුගිය තරඟ වල බංගලාදේශය හමුවේ පෙන්වූ දක්‍ෂතාද සැලකිල්ලට ගෙන ඔහුට කණ්ඩායමේ තැනක් හිමි වීමට ඉඩ ඇත.

අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, ජිවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ඉසුරු උදාන