මහින්ද කර ඇරපු අගමැති රනිල්ට එරෙහි විස්වාසභංගය ගෙන ඒමේ තිරය පිටුපස මෙහෙයුම එළියට….!

මහින්ද කර ඇරපු අගමැති රනිල්ට එරෙහි විස්වාසභංගය ගෙන ඒමේ තිරය පිටුපස මෙහෙයුම එළියට….!
Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විස්වාසභංගය පසුගිය දින කතානායක කරූ ජයසූරීයට භාර දෙන ලදි. මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙන්නේ අප්‍රේල් 04 වැනිදා පෙ.ව. 9.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළදීය. ඡන්ද විමසීම 4 වැනිදා රාත්‍රි 9.30ට සිදු කිරීමට නියමිතය.

මෙම විස්වාසභංගය ඉදිරිපත් කිරීම පිළිබදව පසුපස සැගවුනු කතාව මුද්‍රිත මාධ්‍යයේ පලව තිබුනේ මෙලෙසය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කිරීමේ වගකීම පැවරුණේ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාටය.

නීති උපදෙස්ද ලබා ගනිමින් සකස්කරන ලද මෙම විශ්වාසභංග යෝජනාවේ කරුණු සම්පිණ්ඩනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ අදහස්ද හිමිවිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළ කරුණු 13ක් සහ මහනුවර ගැටුම වැළැක්වීමට තිබියදී එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම යන කරුණු සහිතව කරුණු 14ක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙතුන් දෙනකුද මෙම විශ්වාසභංග යෝජනාවට ඉදිරිපත් කළ යුතු කරුණු ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කර තිබිණි.

මෙම විශ්වාසභංග යෝජනාව අස්සන් කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ පසුගිය 14 වැනිදාය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණද සහාය දක්වන බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම ආරම්භ කරන ලද්දේ 15 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු කාලයේදීය.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දී මෙම විශ්වාසභංග යෝජනාවට මුලින්ම අස්සන් තැබුවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාය.

පේළි පහක් ඉතිරිකොට 6 වැනියාට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා අස්සන් කර තිබිණි. ඉන් අනතුරුව මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක මන්ත්‍රිවරුන් අස්සන් කර පේළි 2ක් ඉතිරි කර යළිත් අස්සන් කරන්නට වූහ. පේළි 2ක් ඉතිරි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනකුටය. ඉන් අනතුරුව අස්සන් කළේ රංජිත්ද සොයිසා මන්ත්‍රිවරයාය. මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රිවරු ඊට පසුව අස්සන් තැබූහ.

රංජිත්ද සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරුන් එක ළඟ අස්සන් කර තිබීම විශේෂත්වයකි. මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීම පවරා තිබුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනාටය.

මහින්දානන්ද අලුත්ගමගේත්, ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයාත් අස්සන් ලබාගැන්මේ මෙහෙයුමේ නිරතව සිටි අතර ඊට සම්බන්ධීකරණ කටයුතුවලින් රංජිත්ද සොයිසා මන්ත්‍රිවරයා සහාය දක්වන්නට විය.

මුලින්ම පේළි 5ක් ඉඩ දී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට අස්සන් කිරීමටය. ඒ අනුව මුල්ම පේළියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, ඊට පසුව වාසුදේව නානායක්කාර, ඉන්පසුව චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරු අස්සන් කළහ.

එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් අස්සන් කළොත් පක්‍ෂයෙන් ඔවුන්ට යම් ගැටලුවක් ඇතිවිය හැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් සංකේතාත්මකව අස්සන් ගැනීමට තීරණය කෙරිණි.

එහිදී කැබිනට් අමාත්‍යවරුන් අස්සන් කළොත් කැබිනට් සාමූහිකත්වයට යම් බලපෑමක් එල්ල වී ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා කැබිනට් අමාත්‍යවරුන් නොවන නියෝජිතයන් පමණක් අස්සන් කිරීමටද ඒ අනුව තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකුට අස්සන් කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ අස්සන් ලේඛනය ඉතා පරිස්සමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුට ලබා දුන්නේය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ යම් ස්ථානයකදී ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීය.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩි පරිස්සමට මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ මහ පාරේදීය. කොළඹ එක්තරා ස්ථානයක පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ නිවෙස අසලට ගොස් වාහනයේ සිටම මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අස්සන් තැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් එම කටයුතු සම්බන්ධීකරණය කළහ.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ යම් ස්ථානයකදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු එම කටයුතු සම්බන්ධීකරණය කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබුවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ ආචාර්ය උපාධි උත්සවයේදීය.

පාර්ලිමේන්තුව 21 දින දහවල් 1.00ට රැස්වුවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙ. ව. 11.00 පමණ වන විට විශේෂ රැස්වීමක් පවත්වන්නට විය. මෙම රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එදිනට කතානායක කරු ජයසූරියට ලබාදීම සඳහායි. මේ වන විටත් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර විශ්වාසභංග යෝජනාවේ අස්සන් ප්‍රමාණය හා ඡන්ද විමසන අවස්ථාවේදී සහාය ලබා ගැනීමට නියමිත ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් ගැන මෙහිදී සමාලෝචනය කෙරිණි.

විශ්වාසභංග යෝජනාව භාරදීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගෙන් වේලාවක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් ඉල්ලා තිබිණි. ඒ අනුව වේලාව හිමිවී තිබුණේ දහවල් 2.00ටය. මෙම පණිවුඩය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් දැනුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විශ්වාසභංග යෝජනාව භාරදෙන අවස්ථාවට තමාද සහභාගි වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දහවල් 12.15ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. හිටපු ජනාධිපතිවරයා, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ දිවා ආහාරය ලබාගැනීමට ගියේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ භෝජනාගාරය වෙතය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය ලබාගත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසත් සමඟය. ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ලොහාන් රත්වත්තේ, කාංචන විජේසේකර යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් එහි සිටියහ.

මේ අතර විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීමේ ලේඛනය තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ළඟය. මාරුවෙන් මාරුවට මෙම ලේඛනය මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා ළඟ තිබුණේ අස්සන් ලබා ගැනීමේ පහසුව සඳහාය. මෙම විශ්වාසභංග යෝජනාවේ අස්සන් ලේඛනය සහිතව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ඉතාම සුපරික්‍ෂාකාරීවයි. තමා ළඟ හෝ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා ළඟ මෙම අස්සන් ලේඛනයේ මුල් පිටපත තිබෙන බව ආණ්ඩුවේ ඇතැමුන් දන්නා නිසා ඉතා සුපරික්‍ෂාකාරී විය යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ කල්පනා කර තිබිණි. යම් කිසිවකු විහිළුවකට හෝ මුල් පිටපත උදුරාගෙන ගියහොත් නැවත මුල සිටම අස්සන් ලබා ගැනීමට සිදුවේ. මේ ගැන සිතූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි අස්සන් ලේඛනය සහිත විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ කෝට් එකේ ඇතුළත සාක්කුවක සඟවාගෙනය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකු යම් සාකච්ඡාවක් සිදුකරමින් සිටියහ.

” විශ්වාසභංග යෝජනාව අද භාර දෙනවාද” එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විමසුවේය.

“ඔව්. ඔව්” කියමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා හිමින් සීරුවේ එම ස්ථානයෙන් පැමිණියේය.

ඉන් අනතුරුව ඔහු කෙළින්ම ගියේ මන්ත්‍රි භෝජනාගාරයේ දිවා ආහාරය ගනිමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටය.

“සංකේතාත්මකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 දෙනකු අස්සන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියයි ඡන්දය දෙන වෙලාවේ අවශ්‍ය සහයෝගය ලබාදීමට සහතික වෙලා ඉන්නවා” යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

“එක්සත් ජාතික පක්ෂයේ 22 දෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන එක ස්ථිරයි” උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

“ඒ සියලුම දෙනා සහයෝගය ලබාදෙන්න අපට සහතික වෙලා තියෙන්නේ. ඡන්ද විමසීම පැවැත්වෙනතුරුම ඔවුන් සම්බන්ධීකරණය කරමින් සිටින්න. මේක අගමැතිවරයකු පරාජය කරන මේ රටේ පළමුවැනි විශ්වාසභංග යෝජනාව කරගන්න පුළුවන්” මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ එක්තරා ස්ථානයකදී ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඉතා රහසිගතව හමුවූහ. එම සාකච්ඡාවේ කිසිවක් හෙළි නොවුණු අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී කතාබහ කරන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන විසින් කතානායක කාර්යාලයේදී කතානායක කරු ජයසූරියට භාරදුන්නේ පසුගිය 22දා හවස 2.20ටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක්ම එම අවස්ථාවට සහභාගි වූහ.