එක එක බල්ලෝ බිරුවට අපි අයින් වන්නේ නෑ – ඇමතිකමෙන් අස්වෙන්න කියන උන්දලට දයාසිරිගෙන් ප්‍රහාරයක්..

එක එක බල්ලෝ බිරුවට අපි අයින් වන්නේ නෑ – ඇමතිකමෙන් අස්වෙන්න කියන උන්දලට දයාසිරිගෙන් ප්‍රහාරයක්..
Spread the love
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. ජනාධිපතිවරයා දැනුම්දෙන ඕනෑම මොහොතක තනතුරුවලින් ඉවත් වීමට සුදානම් බවයි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
 
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර අගමැතිවරයා එහි තවත් එක් සාමාජිකයෙක් පමණක් හෙයින් අගමැතිවරයාට ශ්‍රීලනිප ඇමතිවරු පිළිබඳ තීරණ ගත නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය. විශ්වාසභංග යෝජනාවට පක්ෂ හෝ විපක්ෂවීමට ජනාධිපතිවරයා කිසිදු බලපෑමක් නොකළ අතර ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ලෙස තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ඉඩ දුන් බවයි හෙතෙම කියා සිටියේ. 
 
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට ගත්  තීරණය ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණින් ගත් තීරණයක් නොවන බවත් බැඳුම්කර ගණුදෙනුව  සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දැරූ ස්ථාවරයට අනුව ගත් තීරණයක් බවත් ඔහු පැවසුවේය. 
 
එමෙන්ම  ජාතික ආණ්ඩුව ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමඟ අද සාකච්ජා කළ බව පැවසූ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ යම්කිසි මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවුව හොත් මහජනතාවගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනා ගත්  කණ්ඩායමක් ලෙස ඉවත් වන බවයි.