යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….
Spread the love
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබේ.
අද රාත්‍රී 8.00 ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව තිබේ.
මේ සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුව සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.
කෙසේවෙතත් ලබන මැයි අට වන දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ(23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියේ දී නව මුහුණුවරක් යටතේ ආණ්ඩුව ගෙන යාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමත්‍යවරයා මෙම අදහස් පල කළේය.
කෙසේවෙතත් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.