තැල­සී­මි­යා­වෙන් ගොඩ එන්න – දරු දෙදෙ­නෙක් පිහිට පතති..

Spread the love

දරුවන්ගේ වියොව දරාගත නොහැකි වූ කිසාගෝතමිය බුදු හිමියන් අබියස වැඳ වැටි අයැද සිටියේ වියෝවූවනට ජීවිතය දෙන ලෙස ය. බුදු හිමියන් ඇය සනසාලීමට වදාළේ නොමළ ගෙයකින් අබ ඇට අහුරක් රැගෙන එන ලෙස ය.
බුදු බණේ මෙන් ම මෙවන් වදන් ශුද්ධ ව‍ූ බයිබලයේ හා ශුද්ධ කුරානයේ ද සඳහන්ව තිබේ. ජීවිතයේ අනිත්‍ය සෑම ආගම දහමකම මැනැවින් පිළිබිඹුකොට ඇත.

එවන් කිසාගෝතමියන්, පටාචාරාවන් සේම වෙ‍රෝනිකාවෝද මේ දියත දැනුදු සිටිති. එහෙත් එවන් අයගේ දුක දෙවියන්ට‍ පමණක් බාරදී නිහඬව සිටිය යුතු ද? නැත. අප සමාජය සානුකම්පිත සමාජයකි.‍ එවන් සමාජයක ජීවත්වන මිනිසුන්ගේ හදවතට දැනෙන දුක්බර කථාවක් කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයෙන් ඇසේ.


මේ කථාවේ කිසාගෝතමිය දයාවතී වික්‍රමසිංහය. දයාවතීගේ ස්වාමි පුරුෂයා වික්‍රම මේ වනවිට දිවි රඟ මඬලින් සමුගෙන ය. ඔහු හෘදයාබාධයකින් මියගොස් දැනට වසර එක හමාරකි. එතැන් සිට දයාවතීත් පුත් ඔෂාන් පවිදු (16) හා ඔෂානී විමාෂා (9) යන දූ දරුවෝ ත් අසරණ අඩියකට වැටුණහ.

කොරේ පිටට මරේ යන සමාජ කියමන සනාථ කරමින් දයාවතී මේ වනවිට රෝගාතුර දෙදරුවන් සමඟ කල් ගෙවනුයේ අසරණවය. පුත් ඔෂාන් කඩවත මහා විද්‍යාලයේ ද, දියණිය ඔෂානි කඩවත ධර්ම දර්ශී විද්‍යාලයේ ද සිප් සතර හදාරනුයේ ‍‍රෝගාතුරභාවය නොතකාය. ඒ දරුවො දෙදෙනාම තැලසීමියා රෝගයෙන් පීඩා විඳිති.

මේ වනවිට දයාවතී තම පින්කැමැති සෑම දෙනාගෙන් ම අයදින්නේ දරුවන්ගේ රෝගයට ශල්‍යකර්මයක් කිරීම සඳහා අවශ්‍ය මුදල් ය.

කඩවත මහර ප්‍රදේශයේ පිහිටා ඇති තැලසීමියා රෝහලින් ප්‍රතිකාර ගන්නා ඔෂාන් සහ ඔෂානී සෑම මසකට වරක් ම තම ලේ මාරුකර ගත යුතු ය. ඒ, මෙම රෝගයට අදාළ එක් ප්‍රතිකර්මයකි.

එහෙත් මුළු ජීවිතය පුරාවටම ලේ මාරු කරමින් මෙම තැලසීමියා රෝගය සුව කළ නොහැකි ය. මේ රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ද පවසන්නේත් එයම ය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු ද දරු දෙදෙනාට සරණක් වෙමින් ප්‍රතිකාර කරති.

මේ දරුවන් දෙදෙනාට ජාන බද්ධ සැත්කමක් කළ යුතු බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කේ. සෝමසුන්දරම් මහතා නිර්දේශ කොට ඇත.
එහෙත් ඒ සඳහා රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වැයවෙතැයි පැවසේ. දයාවතී කිසාගෝතමියකගේ තත්ත්වයට පත්ව සිටිනුයේ අබ ඇට ස්වල්පයක් සෙවීමට නොවේ. ලක්ෂ හැටක මුදලක් සොයා ගැනීමට ය.

මේ දරුවෝ සැබෑවටම දක්ෂ දරුවෝ ය. අයියාට දුක නංගී ගැන ය. නංගීට දුක අයියා ගැන ය. දෙදෙනාටම දුක සිය මෑණියන් ගැන ය. මෑණියන්ට දුක දරුවන් ගැන ය. අයියා ‍ඔෂාන් පවසන්නේ තමා පිළිබඳ නොසිතා නංගීගේ මුදල පමණක් සොයාගෙන ඇය සුව කරගන්නා ලෙස ය.‍

දයාවතී හැඳි දෙකකින් දරුවන්ට නොබෙදනා මවකි. ඒ බව ඇගේ දෙනෙතේ සටහන්ව ඇති කඳුළු බිඳු සාක්ෂි දරයි. අසල් වැසියෝ, හිතවත්තු හා ඥාතීහු ද මේ වනවිට මේ පවුල දෙස නෙත් යොමා සිටිති.

එහෙත් ඔවුනට කිසිදු ආදායම් මාර්ගයක් නැත. තිබූ එකම පිළිසරණ ද මේ වනවිට සිව් රියනක් පොළොව යට ය.

ඔෂාන් අධ්‍යාපනය දැනට සාමාන්‍ය පෙළ හදාරමින් සිටී. ඔෂානි 5 වසරේ ය. අධ්‍යාපනයට දක්ෂ වුවද තැලසීමියා ‍රෝගය මොවුන්ගේ දක්ෂතා ගිලගෙන ඇත්තේ ය. ඔවුන් වෙනුවෙන් කඩවත ලංකා බැංකු ශාඛාවේ අංක 7044 1900 දරන ගිණුමක් ද පිහිටුවා ඇත. මේ පවුලේ ලිපිනය 8/156, මංගල මාවත, ඉහළ කරගහමුණ, කඩවතය. මේ සටහන පිනට කැමැති ඔබ වෙත ය.

[rns_reactions]