ඔබ හිනැහෙන රට නවතන 'වැකේෂන්' ගැන ඔබ නොදත් කතාව..

Spread the love

තවත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. ඒ බව දැනෙන්නේ කැලැන්ඩරයේ එකින් එක ගතව ගිය බව පෙන්වන දින ගණනින් පමණක්ම නොවේ. අප්‍රේල් ‘සීසන්-එක’ නැත හොත් සිංහල අවුරුද්ද උදා වන බව පෙන්වන තවත් ලක්ෂණ රාශියක් අප්‍රේල් මස මුල සිටම දැක්නට ලැබෙන්නේය. ඉස්සර නම් අප ඒවා හැඳින්වූයේ කොහාගේ නාදය, එරබදු මල් පිපීම ආදි වූ සොබාදහමේ වෙනස්කම් කිහිපයක් මුල් කරගනිමිනි. එහෙත් දැන් අප්‍රේල් හෙවත් වසන්තය උදා වත්ම අපේ කට්ටිය ‘ශොපින්’ යන්නට ගන්නේය. තැන තැන එරබදු මල් නොව ‘ෆෙයා’ හෙවත් පොළවල් දැමෙන්නේය. ඇඳුම් කඩ පිරී-ඉතිරී යන්නේය. මේ හේතුවෙන්ම වෙනදාට වඩා දෙගුණ තෙගුණ වූ ‘ට්රැෆික්-එකක’ කාලය ගෙවා දැමීමටද සිදු වන්නේය. වෙනදාට පිටකොටුව, කිරිබත්ගොඩ, මහරගම ආදි නගර පසු කර යෑමට පැය කාලක් ගත වන්නේ නම් දැන් පැයකටත් වඩා ගත වන්නේය. හේතුව ‘අවුරුදු’ ඒමය.

වැටුප හෝ බෝනස් හෝ මොකක් හෝ මුදලක් අතට ගන්නා අපේ කට්ටිය අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේය. එකවර කඩවලට කඩාවැටෙන මහා ජන සන්නිපාතය හේතුවෙන් පල් වෙමින් තිබුණු ‘අවුට් ඔෆ් ෆැෂන්’ තොග පවා ක්ෂණිකව හමාර වන්නේය.

ඒ යන ගමන් කැවුම්-කොකිස්ද ගන්නේය; මොකටත් කියා අලුත් මුට්ටියකුත් ගන්නේය. මේ සියල්ල කරන්නේ අවුරුදු කෑමටයැයි සිතෙන්නේය. එහෙත් එසේ නොවන්නේය. අවුරුදු කෑම තිබුණේ ඉස්සරය. දැන් ඇත්තේ ‘අවුරුදු වැකේෂන්’ ය. ඕන්න ඔය විදිහට උදා වන අවුරුද්ද කෑවායින් නොකෑවායින් අපේ කට්ටිය වැකේශන් ‘ස්ටාට්’ කරන්නේය. එතැන් සිට ඉතින් සතියකටත් වඩා වැකේෂන්ය. කොටින්ම කිව්වොත් රටටම වැකේශන්ය.

සිංහල-දෙමළ අවුරුදු චාරිත්‍ර අපේ සංස්කෘතියේ මුදුන් මල්කඩක් වැන්නේය. මේ චාරිත්‍ර සියල්ල කෘෂිකාර්මික සමාජය, ජලාශ්‍රිත ශිෂ්ටාචාරය, බුදුදහම සහ සංස්කෘතික-ආගමික සබැඳියාව ගැන ප්‍රායෝගික භාවිතයට ගෙන එන්නේය. ඒ පවුල් ඒකකය මුල් කරගනිමිනි. අවුරුද්ද සුන්දරය. පෙර සිටම කලඑළි වන්නේ ගෙදරය; මිදුලය. ඇඳුම් ගන්නේ නැකතට අඳින්නටය. රටටම එකම පාටක්ද නියම වන්නේය. කැවුම් පිසෙන්නේය. නැකතට මුළු රටම එකට ළිප ගිනි දල්වන්නේය. එකම වේලාවක රටේ හැම පවුලකම හැම මුවකටම බත් පිඬක් වැටෙන්නේය. මේ අද බටහිර මහා ඉහළින් කථා කරන එකමුතුකම, සහජීවනයේ ප්‍රායෝගික භාවිතය වන්නේය. මේ අවුරුදු චාරිත්‍රවල අන්තර්ගත යටි පෙළ නිසි ලෙස වටහා ගත්තේ නම් දෙමළ-සිංහල කලකෝලාහල, යුද්ධ ඇති නොවන්නේය.

අපේ කට්ටිය එදත් මේ සංස්කෘතිකාංගවල අරුත් තේරුම් ගත්තේ නැත. දැන් යුද්ද අවසන්ය. ඒත් පේන හැටියට දැන්වත් මේ සංස්කෘතිකාංගවල අරුත තේරුම් ගන්නේ නැත. ඒ වෙනුවට දැන් සංස්කෘතිකාංග නෙ‍ාසලකමින් ඔවුන් වැකේෂන් යන්නෝය.

කඩවල පොරකා ඇඳුම් රැගෙන ඔවුන් යන්නේ ගමට ගොස් අවුරුදු සැමරීමට නොවේය. වැකේෂන් සැමරීමටය. මේ වැකේෂන් ඇත්තේ ගෙදර නොවේය. අනුරාධපුරයේය. කතරගමය. විශේෂයෙන් නුවරඑළියේය. ධනපතියන්ට නම් ලන්ඩන්ය; නිව්යෝර්ක්ය; බැරිම නම් බැංකොක්ය. අර සංස්කෘතික සහජීවනය වෙනුවෙන් බිහි වුණු චාරිත්‍ර කෙසේ වෙතත් ගෙවල් පාළුවට ගිහින්ය. බොහෝ දෙනා වැකේෂන් යන්නේ අවුරුද්දට කලින්ය. යන එකේ සති දෙකක් වත් ‘රිලැක්ස්-එකේ’ ඉන්නට ඕනෑය. නැත් නම් වැඩක් නැතිය.

දැනටමත් අපේ රට සිටින්නේ නිවාඩුවලින් ‘කප්’ ගසාය. මාසයකට නිවාඩු දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන් තියෙන්නේය. ඒ මදිවාට මැද්දට වැටෙන වැකේෂන්ය. අප්‍රේල්ය, දෙසැම්බර්ය, අවුරුදුය, නත්තල්ය. ලෝකේ තව වැකේෂන් වර්ග තියෙනවා නම් ඒ සියල්ලත් අපි අපේ කරගන්නේ අඩම්බරයෙන්ය. මොන ලෝකෙන් හෝ අපට ඕනෑ නිවාඩුය. නිෂ්පාදන ආර්ථිකයක් නැත කියා නහයෙන් අඬන්නේ එවන් වූ අපිය.

අවුරුදු දින කිහිපයේ නුවරඑළිය, අනුරාධපුරය, කතරගම ගොස් බලන්නට වටින්නේය. ඒ දිනවලට නුවරඑළිය නුවරඑළිය නොව කොළඹම වන්නේය‍. ජනාකීර්ණ පරිසරය සමග රථවාහනවලින් පිරී ගිය මංමාවත්ය. තැන තැන ‘බාබර්කිව් ස්ටෝල්’ ය. තැනක ‘රිමෝට් කාර් රේස්’ ය. අහසේ සරන ‘ඩ්‍රෝන කැමරා’ ය. වසන්ත උදානයය. කොවුල් නාදයය. ටීවී චැනල්වල තරගය. අවුරුදු කුමරිය ‘ස්ටේජ්’ උඩය. කොළඹ මුහුණුටික පාරවල එමෙම්මය. එපමණක්ද නොව කොළඹ යාචකයෝද ගැට කපන්නෝද නුවරඑළියට වැකේෂන් ගොස්ය.

වරින් වර මාර්ගය වසා දිවෙන යතුරු පැදි තරගය. ඒ හේතුවෙන් පැය ගණන් ට්රැෆික්-එකේ සිටිද්දී අපරාදේ හෝටලේට සල්ලි ගෙවන්නේ කියා හිතෙන්නේය. ඒ මන්දයත් කොළඹම සිටිමින් මේ ට්රැෆික් සුන්දරත්වය නොඅඩුව විඳිය හැකි වන නිසාය. එහෙත් පුදුමයකට මෙන් අවුරුදු දිනවල නුවරඑළිය ක‍ොළඹ මෙන් වන විට කොළඹ නුවරඑළිය මෙන් වන්නේය. පාරවල් මතින් සිත් සේ ගමන් යා හැක්කේ පාළුවද නොඅඩුව අත්විඳිමිනි. එවන් වූ මොහ‍ොතක සිතෙන්නේ ඇත්තටම කොළඹත් ලස්සනයි කියාය. අනුරාධපුරයද‍, කතරගමද මෙසේමය. එපමණක්ද නොව ඒ යන අතරමගදී හමු වන හැම ලොකු කුඩා නගරයක්මද මෙසේමය. හැමතැනම වැකේෂන්ය.

මේ වැකේෂන් එක අවසන් වන්නේ අඩුම තරමේ දවස් දහයක්වත් ගත වූ පසුය. ඒ වන විට අප්‍රේල් මාසයෙන් ඉතිරි වී ඇත්තේ දවසක් දෙකක් පමණි. එතැන් සිට යළි රථ පෙරහර කොළඹ එන්නේය. මේ එන ගමනද හරිම සුන්දරය. නුවරඑළියේ සිට එන්නේ නම් හැටන් පාරේ එකම රථ පෙරහරකි. අවිස්සාවේල්ල හරියේ දී පටුවන පාර මධ්‍යම රාත්‍රිය පසුවන තුරු අවසන් නොවන ට්රැෆික් එකක් හදන්නේය. අනුරාධපුරයේ සිට එන්නේ නම් වරකාපොළ ගැන කතා කිරීමද අමාරුය. අධිවේගී මාර්ගයේ පිවිසුම් පිටවීම් සියල්ල පැයක දෙකක ට්රැෆික් එකක් හදන්නේය. මේ තරම්ම නොවූවද කටුනායක පැමිණීම් පැටවීම් පර්යන්තයන්ද සිහිපත් කළ යුතුය.
මේ සියල්ල සිදුව අවසන් වන තෙක් රටම නවතින්නේය. හේතුව වැකේෂන්ය. වැකේෂන් අස්සේ කටවත් ලෙඩ වීමට හැකියාවක් නැත. දොස්තරලා වැකේෂන්ය. කාර්යාලයකින් කිසියම් අත්‍යාවශ්‍ය රාජකාරියක් කර ගැනීමට හැකියාවක් නැත්තේය. සේවක මහත්ම මහත්මීන් වැකේෂන්ය. හදිස්සියකට කොළඹ කෑම කඩයක් නැත්තේය. අවුරුද්දෙන් පසු ගම්වල ගිය කොත්තු බාස්ලා යළි නොපැමිණෙන බැවින් කොත්තු බාස්ලා ඉල්ලා පත්තරවල දැන්වීම් දැමීමට පැමිණෙන කඩහිමියන්ය. මේ ආදී වශයෙන් අනුලෝමව සිදු වන සිදුවීම් මාලාවක් අවුරුද්ද අවසන්ව නොව අප්‍රේල් මාසයම අවසන් වන තෙක් සිදුවන්නේය.
වැකේෂන් තිබිය යුතුය. ධනවාදයේ මැෂින් එකේ ධාවනයට අනුව නොනැවතී දුවන අපට ඉසිඹුවක් ලැබෙන්නේ එවන් අවස්ථාවකදීය. එය හරියට ඉතාලි ගොස් වසරක් පුරා අති විශාල ශීතකරණවල අයිස් කඩා දහදුක් විඳ ලැබෙන සල්ලි රැගෙන ලංකාවට පැමිණ කා බී වියදම් කර මාසයක් දෙකක් ගෙවා දමනවා වැනිය.
එහෙත් මේ අවුරුදු වැකේෂන් ගැන අවධානය යොමු කළ යුතු වන්නේ එය සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් යන බව පෙනෙන නිසාය. එය රටේ නිෂ්පාදනයට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයටද ප්‍රශ්නයක් වන බව පෙනෙන නිසාය.
අදින් වසර කිහිපයකට පෙර අපේ කට්ටිය වැකේෂන් සැමරුවේ ගෙදර සිටිමිනි. එවකට පැවති අස්ථාවර සමාජ ස්වභාවයද එයට හේතු වන්නට ඇත. එහෙත් දැන් රට සාමකාමීය. මහමග පෙරදී මෙන් බියපත් නැත. දේශය සංචාරයට සුදුසුය. මහ දවල් කොළඹ අව්ව කාගෙන යන විදේශිකයන් ඊට හොඳම නිදසුනය. එහෙව් රටේ අපි අපිම සාංචාරය කිරීම නරකක් නොවන්නේය. එහෙත් ගැටලුව නම් මේ සා විශාල කාලයක් ඒ සඳහා වැය කිරීමය.

සිංහල මිනිසා අලස බවට උදාහරණ අතීතයේ සිට පැවතෙන්නේය. යමක් වවා කපා ගෙට ගත් කල, උයා-පිහාගෙන කා-බී නිවීහැනහිල්ලේ ඉන්න සිංහලයා කැමැත්තේය. ඉන්දියාවේ සිට වතුවල සේවයට දෙමළ ජනතාවට එන්නට සිදු වන්නේද මේ කැමැත්තේ අතුරුපලයක් වශයෙනි. දැනට අප සතු ශ්‍රමය පමණක්මය. කෘෂිකාර්මික ආර්ථීකයෙන් ඉවත් විය යුතු කාලය දැනටමත් ප්‍රමාදය. නිෂ්පාදන ආර්ථීකයක් බිහි නොවන්නේ නම් ආර්ථික ස්ථාවරත්වයක් ගැන කථා කිරීම බොරුය. සංවර්ධිත රටක් සිහිනයක්ම වන්නේය.

ලැබී තිබෙන සාමය‍, සමාජ ස්ථාවරත්වය යෙදවිය යුත්තේ රටේම උන්නතියටය. එහෙම නැතිව කා-බී ‘ෆන්’ ගන්නට පමණක් නොවේය. එදා කිව්වේ යුද්ධය නිසා රට සිංගප්පූරුවක් බවට පත් නොවී බේරුණා කියාය. දැන් කියන්නට තියෙන්නේ දිගටම දිගටම ෆන් ගන්නා නිසා රට සිංගප්පූරුවක් නොවන බවය.
මෙහෙම ගියොත් ෆන් වැඩි වීමෙන් ආයෙත් රට යුද්ධයකට වුව යන්නට බැරිය. ණය කන්ද නම් කොහෙත්ම ගෙවාගන්නට බැරිය. නිෂ්පාදනයක් සිදු නොවන්නේ නම් ශක්තිමත් ආර්ථිකයක් බිහි නොවන්නේය. මේ සියල්ලෙන් කඩා වැටෙන්නේ රටය. ඒ නිසා ‘වැකේෂන්’ ගත යුතුය. එහෙත් රට ගැනද සිතිය යුතුය.

[rns_reactions]