සිතුම් සුධාර චිත්‍ර ශිල්පියෙකි. රටම පිළිගත් අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙරට ජනප්‍රිය කලාකරුවන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සිතුවම් කර තිබිණි. ඔහුගේ නිර්මාණ දෙස වරක් දෙවරක් නොව දස දහස් වාරයක් වුවද බලා සිටිය හැකිය. ඔහුගේ ඕනෑම සිතුවමක් සජීවී දසුනක් ලෙස දැකිය හැකිය. එය ඔහුගේ සහජ දක්‍ෂතාවයයි.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා යෞවන වයසේ පසුවන්නෙකි. වයස අවුරුදු විසි හතරක් වුවත් ඔහු අතින් නිමවූ සිතුවම් ප්‍රමාණය කෙතෙක්‌දැයි කිව නොහැකිය. ඒ තරමටම ඔහුගේ දෑත සිතුවම් ඇඳීම සඳහා භාවිතා කර තිබිණි.
කලාකාමී හදවතක් තිබූ මොහුට සමාජයේද හොඳ පිළිගැනීමක් තිබිණි. කිසිවකුටත් කරදරයක් නොවන අයුරින් ජීවත් වූ මොහු නිතරම සිටියේ අහිංසක සිනහවකින් මුව සරසාගෙනය. වයස් කුල, ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා සමඟ මොහු සුහදව ඇසුරු කළහ.
උසට සරිලන මහතකින් යුතු කුමුදු, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සුන්දර යුවතියකි. නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි සිනහව සහ දිගු වරලස ඇයගේ රුව ඔප් නැංවීමට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් බඳුය. දුටුවන් වශී කරවන සුළු රූපයකට හිමිකම් කියූ ඇයගේ ආදරය පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි වූහ.
චිත්‍ර ශිල්පී සිතුම් සුධාර, කුමුදුට මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්‌තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක් පහළ වූවේය. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කළේය. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළේය. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෑයි ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය.
“හෙලෝ නංගි මාව මතකද මම සුධාර”
“ආ… ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ…”
“හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක් දෙන්න!!!!”
“මට මොන තෑගිද අයියේ… අපි අඳුරගත්තෙත් එදානේ…”
“අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්”
“මොකක්‌ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා”
“බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ…”
“අනේ එහෙමද… මම බයවුණා වෙන මොකක් හරි කියලා… ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ… ඔයාට වෙන අඳින්න මුහුණක් තිබුණෙම නැද්ද…”
“ඔයාගේ මුහුණ ගොඩක් ලස්‌සනයි. ඒකයි මම ඇන්දේ…”
“නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ…”
“බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ…”
“අයියා පෝස්‌ට් එකට දාන්න. මම ඇඩ්‍රස් එක දෙන්නම්…”
“හරි නංගි”
එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක් යන්නට මත්තෙන් ආදරයක් බවට පෙරළුණේය. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළාය. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කළේය. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක් පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක් නොවුණි.
සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ “බතික් නිවස” ලෙසින්ය. වැඩිකල් නොගොස් සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ.
සුධාර ජනවාරි මාසයේ එක් දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන “බතික් නිවසට” එක් කරගෙන ආවේය. මාස දෙක තුනක් ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක් ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්‌වීම ගැන ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූවාය.
එන්න එන්නම සුධාර වෙනස් වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්‌ක රණ්‌ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක් සුධීරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක් තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය.
“අනේ අම්මේ… සුධීර එක්‌ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්‌සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්‌ක එපා වෙලා තියෙන්නේ දැන්…”
” අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ… දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා”
කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක් ලැබුණත් තම අනාගතය සහ ස්‌වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක් වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක් වූවාය.
මාසයක් පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක් ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය.
“මාගෙන් වුණ සෑම වරදකටම මට සමාවෙන්න. මට ඔයා නැතිව ඉන්න බැහැ. මම ඔයාට ඇත්තටම ආදරෙයි රත්තරං. මට දැන් ඔයා නැති අඩුව හොඳට දැනෙනව. තවත් මට ඔයා නැතිව ඉන්න බැහැ.”
“මම දන්නවානෙ ඔයාගෙ හැටි. මට සලකපු විදිහ. ආයි මම කැමැති නැහැ ඔයත් එක්‌ක ඇවිත් රණ්‌ඩු වෙන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සුධාර…”
“ඔයා එහෙම කියන්න එපා. මම වරද පිළිගත්තනෙ… ඔයාට පුළුවන්ද මාව අනාථ කරලා ඉන්න…”
“ඔයාව මට අමතක කරන්න බැහැ. ඒත් මම කැමැති නැහැ ආයි ඒ වගේ ජීවිතයකට. මම මැරෙනකම් මෙහෙම ඉන්නම්”
“එපා රත්තරං. මට ඔයාව ඕනා. මාව අමතක කරන්න එපා. ආයි මම ඔයාගේ හිත රිදෙන වචනයක්‌වත් කියන්නෙ නැහැ සත්තයි.”
“මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. ඒත් මට බයයි පහුගිය දේවල් මතක් වෙනකොට”
“ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ. මම පොරොන්දු වෙනවා රෝස මලක් වගේ ඔයාව බලා ගන්නවා කියලා…”
“ඔය ඇත්තමද?”
“ඔව් රත්තරං සත්තයි. මාව විශ්වාස කරන්න”
“එහෙනම් ඉක්‌මනට ඇවිත් මාව එක්‌කන් යන්න ආපහු”
ඒ අනුව සුධාර කුමුදුගේ නිවසට ගොස් නැවත කිසි දිනක රණ්‌ඩු නොවන පොරොන්දුව මත ඇයව “බතික් නිවස” වෙත රැගෙන ආවේය. සති කිහිපයක් දෙදෙනා සතුටින් ජීවත් වූහ.
යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්‌ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්‌ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය.
දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත වචන හුවමාරුවක් ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්‌ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක් නොවීය.
වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්‌ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක් විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය.
“අද දෙකෙන් එකක් කරනවා මම. උඹත් එක්‌ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්‍ෂණියක්”
“දැන්ද තේරුණේ… මම යක්‍ෂණියක් කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක් කරනවා…”
“මම හොඳින් කියන්නේ… ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා…”
“පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද…”
එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක් ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක් රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි.
ඇයගේ මුවින් මොනවාදො වචන වගයක් පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක් මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ.
සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක් නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස් නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.
රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක් විඳිනවා ඇත.