එක දවසක් අහවර වෙලා තවත් දවසක් පටන් අරගෙන පැය දෙකක් වත් ගෙවෙන්න කලියෙන්, ඒ කියන්නේ පාන්දර දෙක විතර වෙද්දි ඉස්පිරිතාලෙ ගේට්ටුව පහු කරල පොඩිකන්ද නැඟල වාට්ටු පේළියට මෙහායින් තියෙන ලෑලි බංකු පේළිය මිනිස්සුන්ගෙන් පිරෙන්න ගන්නව. පාන්දර තුන හමාරෙ කොළඹ බස් එක ග්‍රාමීය රෝහල කියන බෝඩ් එක ළඟ වෙනදට වැඩි වෙලාවක් සිකුරාද දවසට එතන නතර කරල තියන්නේ ගම් හතර පහකම කට්ටිය බහින්න ඉන්න හින්ද. කොළඹ යන අය පාපුවරුව දිහා නොක්කාඩුවෙන් වගේ බලන්නෙ එයාලගෙ ගමනට පරක්කු වෙන හින්ද වෙන්න ඇති. ඇයි ඉතින් සමහරුන්ට හැරමිටියත් අරගෙන උස පාපුවරුවෙන් බහින්න සෑහෙන වෙලාවක් ගත වෙනවනේ.
බිමට එළිය වැටෙද්දි ලෑලි බංකු පේළියත් පිරිල, ඉස්සරහ තියෙන බුදුමැඳුර වටෙත් පේළියට වාඩි වෙලා. තුණ්ඩු දෙන්න පටන් ගනිද්දි වලස් ඇඳිරිය වැට ළඟ ඇනතියාගෙන ඉන්න කට්ටියත් පෝලිම් ගැහෙනව. ඔක්කොම තුන් සීයක් විතර.
සායනයට එන ගම් දහ-පහළොවක මිනිස්සු වගේම ඉස්පිරිතාලෙත් හරිම දුප්පත්. ඉස්පිරිතාලෙටම ඉන්නෙ දොස්තර නෝනල දෙන්නයි, මහත්තයෙකුයි විතරයි. එක්කෙනෙක් රෑ වැඩ මුරය ඉවර කරල පිට වෙලා ගියාම තව දෙන්නයි. සායනයට එන දෙතුන් සීයයි, බාහිර රෝගී අංශෙට එන පිරිසයි, ඒ අතරෙ මහපාරෙදි හරි කොහෙදි හරි හදිසි අනතුරුවලිනුයි ආපුවම ඉස්පිරිතාලෙ පිරිල යනව. මහ රෑ දෙගොඩහරියෙදි සායනයට ආවත් දොස්තරවරු ඉන්න පෝලිමෙයි, බේත් ගන්න පෝලිමෙයි ඉඳල ගෙදර යන්න හැරෙන කොට දවල් එක-දෙකවත් වෙනව.
සිංහල අවුරුද්දට තව දවස් පහ-හයයි තියෙන්නෙ. අවුරුද්දට ඉස්සර තියෙන අන්තිම සායනය අද. වෙනද වගේම ඈත ගම්වල මිනිස්සු වෙනදටත් කලියෙන් ස්පිරිතාලෙට ආවෙ ගෙදර-දොරේ වැඩ කන්දරාවක් තියෙද්දි.
දෙතුන් සීයක් සායනය ඉස්සරහ පෝලිම හැදෙද්දි තමයි, තුණ්ඩු ලියන කෙනා ඇවිත් අද සායනය නැහැ, දොස්තර මහත්තරුන්ගේ වැඩ වර්ජනයක් කියල කිව්වෙ. එක පාරටම ඇහුණෙ උස් හඬින් හුස්ම ගන්න සද්දෙ විතරයි. සමහරු තමන්ගෙ අත්වල තිබුණ හැරමිටිවලට තවත් බර දුන්නා.
අලුත් අවුරුදු ළංවෙද්දි අලුත් ඇම් පැලඳුම්, රස මසවුළු, මත්වතුර වගේ දේවල් හොයාගෙන යන මිනිස්සු අතරෙ තමයි වෙනදට බොන ප්‍රෙෂර් පෙත්ත, දියවැඩියාවට බොන පෙති ටික, නැත්නම් විදින ඉන්සියුලින් කුප්පිය නැතිව අවුරුද්ද ගෙවන්න වෙන මිනිසුන් පිරිසකුත් ඉන්නෙ.
පොලීමේ ඉස්සරහම නැත් නම් පාන්දර දෙකටත් කලියෙන් ආපු කෙනෙක් හෙමින් කොඳුරල තුණ්ඩු ලියන කෙනාගෙන් ඇහුවෙ ඇයි ඒ කියල.
දන්නෙ නැද්ද? සයිටම්, සයිටම් කියල පිට වෙලා ගියත්, ජීවිතේ අන්තිම කාලේ ඉස්පිරිතාලෙ සායනයෙන් ලැබෙන බෙහෙතෙන් ජීවිතේ ගැටගහගන්න අහිංසකයන්ට සයිටම්-එක ගැන තියෙන අවබෝධය මොකක්ද ඇත්තටම?
තමන්ගෙ දරුවව ස්කෝලෙ දාගන්න නැත්නම් වාහන පර්මිට්එක ගන්න දොස්තරවරු වැඩවර්ජනය කරපු දවසෙත් මේ වගේම සායනයට ආපු මිනිස්සු ආපහු හැරිල යන්න ඇති. ‘ඇයි අද සායනය නැත්තෙ?’ කියල අහපුවම හේතුව තුණ්ඩු ලියපු කෙනා කියන්නත් ඇති.
අද රෝගීන් බවට පත්ව ඇති මේ මිනිසුන් ජීවිත කාලය පුරාවටම හම්බ කළ මුදලින් මේ රටේ වෛද්‍ය විද්‍යාල නඩත්තු වෙන්න ඇති. පහුගිය කාලෙ දොස්තර මහත්තයෙක් නෝන කෙනෙක් දැක්කහම ගෞරව කරපු මිනිස්සුම හෙට-අනිද්ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු බව සඳහන් පුවරුව වාහනයේ වීදුරුවේ අලවාගෙන යන කොට සාප කරන දිනයත් වැඩි ඈතක නොවෙයිලු…
[rns_reactions]